Thursday, July 26, 2012

හඹා යාම 10

හඹා යාම 


01   02   03   04   05   06   07   08   09   


හිමිදිරි සීතලත් සමග මම අවදි වූ මම සෙමෙන් ඇ‍ඳෙන් බැස ජනේලය විවර කරමි. 
තවමත් හිරු ද මා මෙන්ම අඩ නින්දේය.ලා රෝස පැහැ ගත් අහසේ චලනය වන කළු පැහැති සේයා මෙන් කපුටන් එකා දෙන්නා අහසට එකතු වේ. 



අම්මා මිදුලට විසි කරන බත් ඇට ටික අවුලා ගන්නට වෙනදාට පොර බදින දෙමලිච්චන් රංචුවට තවමත් එළි වී නැති සේය.
ජනේලය අසල සේපාලිකා ගස ‍රැයෙහි පිබිදුන මල් ගිලිහෙන්නට නොදී තවමත් තුරුලු කරගෙන සිටියි.තවත් නම නොදන්නා මල් පැළයක් කහ පැහැති මල් පොට්‍ටුවක් විකසිත කරන්නට අර අඳිමින්ය. 


එක් දෙයක් පැහැදිලිය. සියල්ලන්ටම කලින් මා අද අවදි වී සිටිමි.


ඈ  මේ වන විට බසයක කොහේ හෝ මා නොදන්නා පළාතක් බලා ගමන් කරනවා විය යුතුය.සතිපතා සිදුවන මෙම ගමන ඇයට මහත් වෙහෙසක් ගෙන දෙනවාට සැක නැත. වසරකට වරක් අම්මාත් ඇගේ මිතුරියන් කිහිප දෙනෙකුත් සිදු කරන අටමස්ථාන වන්දනාව මට නම් බොහෝ විට විඩාවක් ගෙන දේ. "කට ඉස්සර කරගන්න එපා" යැයි ගමනට පෙර අම්මා පවසන නිසාවෙන් මා ඒ සෑම විටම නිහඬව සිටියද, ආදිත්‍යා විඳින වෙහෙස  සිහි වීමෙන් දැන් මා හට විශාල කම්පනයක් දැනේ. හැරත් ඇගේ ගමන පාරේ බසයෙනි. එය වඩා විඩාබරය.


මා හට ඈ ඇමතීමට අවශ්‍යය. එහෙත් මෙතාම් උදෑසන ඇමතීම පිළිබඳව ඈ කුමක් සිතාවිද?එක් අතකට කුමක් සිතූවද මට කම් නැත.මා සිතෙහි ඈ කෙරෙහි ආදරයක් ඇති වී හමාරය.දැන් ඉතින් කුමක් සිදු වුවද ආපසු හැරීමට නම් මා සූදානම් නැත.


ඇගේ දුරකතනය නාද වනු ඇසේ.ඇය පිළිතුරු දෙන්නේ ඇමතුම අවසන් වීමට ඔන්න මෙන්න ඇති විටය.


"දසුන් අයියෙ?" ඒ අහිංසක හඬ නිදිබරය.


"කොහෙද ඉන්නෙ?" මගේ කට හඬටද තවමත් නිදි මත ස්වභාවයක් මුසු වී ඇති බව මට දැනේ.


"කොහෙද ඉන්නෙ කියලා හොයන්නත් බෑ, මට ටිකක් නින්ද ගියා..... ඇයි මේ අද නිවාඩු දවසෙත් උදේ ඇහැරිලා ඔයා?"


දැන් ඉතින් උත්තරයක් දිය යුතුය.
"මේ ටිකේ වැඩ නංගි. තීසිස් එක බාර දෙන්න ඕනා ලබන සතියෙ"


"එම් එස් සී එකේ?"


"හ්ම් ඔව්. ඉතින් තව ගොඩක් වෙලායනවද ගෙදර යන්න?"


"අපෝ ඔව් තව පැය තව පැය 3ක් වත් යයි. හරි කම්මැලියි මෙහෙම යද්දි.... එපා වෙනවා"


"boy friend එක්ක ගියා නම් හරිනෙ කම්මැලිකම යන්නත් එක්ක" මම උගුරට  හොරා බෙහෙත් කෑමට උත්සාහ කරමි. 


ඊට පිළිතුරු දෙනුවස් ඈ මඳ වේලාවක් ගනියි.
"එහෙම කෙනෙක් නෑ අනේ.... නැති කෙනෙක් එක්ක කොහෙ යන්නද?" ඇගේ ස්වරයේ දුක්බර බවක් ‍රැඳී තිබෙනවාද?


"බොරු කියන්න එපා" ඈ පවසන්නේ බොරුවක් නොවෙන බව දැන දැනම මා පවසන්නේ තුන් සිතම ප්‍රීතියෙන් පිනා යන මොහොතකය.


"බොරු නෙමේ ඇත්ත...."


"කවදාවත් ඉඳලා නැද්ද?"


"කවදාවත් ඉඳලාත් නෑ.......... කවදාවත් ඉන්න එකකුත් නෑ........"


ගොලු වන්නේ මමය. ඉල්ලන් කෑමක් ඇස් පනාපිට ඔප්පු වී ඇත. ඈ මගේ සිතැඟි වටහාගෙනද? නො එසේ නම් ඒ ඈගේ අවංක හැඟීමද? එසේ නම් ඒ සඳහා හේතුව කුමක්ද? ඈගේ හඬෙහි ඇත්තේ හිතුවක්කාර බවක් හෝ දැඩි බවක් නොවේ. එය දුක්බර බවක්ද, මට නො වැටහේ......


"ඇයි නංගි එහෙම කියන්නෙ?" බිඳුන හඬ හැකි තරම් යටපත් කරගෙන මම අසමි.



"ඇයි එහෙම කියන්නෙ?" මගේ බිඳුනු ස්වරය හැකි තරම් යටපත් කරගෙන මම විමසමි.


"පස්සෙ දවසක කියන්නම්" සෑම දිනයකම වාගේ අදත් ඈ මගේ සිතෙහි කුතුහලයක්, සිතන්නට යමන්, නොනිදන්නට කාරණාවක් ඉතිරි කරමින් පවසයි. එය බලෙන් අසා දැනගැනීමට මා තුළ උනන්දුවක් පහළ නොවේ. වදනකින් හෝ ඇගේ සිත තැලීමට මට සිත් නොදේ. මා හටම මා පිළිබඳව ලජ්ජාවක් ඇති වන තරමටම මගේ සිතිවිලි රටාව වෙනස් වී ඇත. එය බොළඳ වීමක් ලෙස නම් මම පිළිනොගනිමි.


"හෙලෝ...."


"හෙලෝ නංගි?"


"මම බැලුවා මොකද එක පාරටම වුණේ කියලා... සද්ද නැතුව ගියෙ ඇයි?"


"මොනවා වෙන්නද , මේ ඉන්නෙ ගහක් ගලක් වාගෙ...."


ඇය සිනාසෙයි. ඒ සිනහව මා ඉදිරියේ මැවී නැති වී යයි.
"එහෙනම් මම පස්සෙ කතා කරන්නම්, ඔයා ගෙදර ගියාම. අර හේතුවත් කැමති නම් කියන්න එතකොට"


"හා බලමු"


නැවත නින්දට නොයන්නයැයි පැවසීමට මට සිතේ. ඈ අසල වඩි වී සිටින්නේ කුමණ අන්දමේ පුද්ගලයකුදැයි මම නොදනිමි. ඒ නිසා නොනිදා අවදියෙන් සිටිනවා නම් වඩා හොඳය.
"ඉතින් ආයෙ නිදාගන්න එපා කටත් ඇරගෙන. සිදුහත් කුමාරයා අභිනිෂ්ක්‍රමණය කළා වගේ ඔයාව දකින අයත් අභිනිෂ්ක්‍රමණය කරයි"


"ඉතින් හොඳයිනෙ"


"හොඳ තේරෙයි ඒ මිනිස්සුන්ගෙ දරු පවුල් පිටින් ඔයාව හොයාගෙන ආවොත් නඩත්තු ඉල්ලලා"


ඇය සිනා සේ..."නෑ නෑ එහෙම වෙන එකක් නෑ, මම දැන් නිදාගන්නෙ නෑ, පොතක් කියවන්න තියනවා" මගෙ මුවට සිනහවක් එක් වනු මට දැනේ.


"ඒ මොකද්ද?"


"කවි කඳුර ,සුනේත්‍රාගෙ"
මගේ සිත ප්‍රීතියෙන් ඉපිළේ. ඈද මා මෙන්ම පොත් කියවීමට කැමැත්තක් දක්වන සේය.....කවි කඳුර මා කියවූයේ මීට මාසයකට පමණ පෙරය.


"කවි කඳුර හොඳ පොතක්, කියවල බලන්නකො"


"අයියා කියෙවුවද ඒක?"


"හ්ම්ම් සුනේත්‍රාගෙ අනිත් පොත් වලට වඩා වෙනස්.... ඒත් හොඳයි.
ඔයා ගොඩක් පොත් කියවනවද?"


"ඔව් ගොඩාක් ආසයි, ඒක තමයි මම කරන්න කැමතිම දේ.."


ඈ පිළිබඳව මා සිතෙහි ඇති ඇල්ම වඩ වඩා තීව්‍ර වේ. මා විශ්වාස කරන පරිදි පොත් කියවීමට මෙන්ම ඒ සඳහා ඇලුම් කිරීමටද සුන්දර සිතක් තිබිය යුතුය. මා ආශා කරන වෙනත් කිසිවකට ඇය ඇලුම් නොකළත් මට කම් නැත. පොත් වලට ඇය ආශා කිරීම මා හට ප්‍රමාණවත්ය. එසේ නොවුණහොත් ජී බී සේනානායකගේ කලහය කෙටි කතාවේ මෙන් අවස්ථාවකට කෙදිනක හෝ මා හට මුහුණපාන්නට සිදු වීමේ හැකියාව ඉතා වැඩිය.


"මගෙ ළඟත් පොත් තියනවා... ඔයා කියවලා නැති ඒවා තියනවා නම් මම ඔයාට දෙන්නම්." සත්‍ය වශයෙන්ම විෂය කරුණු අඩංගු පොත් , සටහන් පොත් ආදිය දානයක් සේ බෙදා දීමට වුවත් මා හට එතරම් ගැටලුවක් නැත. එහෙත් ,මගේ සිංහල ඉංග්‍රීසි ප්‍රබන්ධ ,නව කතා ආදිය නම් පසන් හට හැර වෙනත් කිසිවෙකු හට මම ලේසියෙන් ලබා නොදෙමි. පසන්ට ඒවා දෙන්නේද, බැන වැදී නොහැකි නම්, ඔහුගේ නිවසට ගොස් බලෙන් හෝ ඒවා ලබා ගත හැකි නිසාය.


අම්මා කාමරය දෙසට එන හඬක් ඇසේ. මම ඇමතුම අවසන් කරමි.
"මම පස්සෙ ගන්නම් නංගි. ගෙදර ගියාම මට මැසේජ් එකක් එවන්න"


"හා අයියෙ බුදු සරණයි." ඇය සෙමෙන් පවසයි. මා ඉක්මනින් ඇමතුම අවසන් කිරීම පිළිබඳව ඈ හට දුක සිතුණාවත් ද?


එහෙත් ඒ පිළිබඳව සිතන්නට මා හට අවකාශ නැත. තේ එකත් සමග අම්මා මා අසලය.


"අම්මා වෙනදාට නිවාඩු දවස් වලට මේ තරම් වේලාසන තේ හදන්නෙ නෑනෙ"


"ඒ ඔයා නැගිටින්න පරක්කු වෙන නිසානෙ. මට ඇහුණා කතා කරන සද්දෙ. හීනෙන් ද කියලා හිතලත්, ඇවිදින සද්දෙත් ඇහුණම තේරුණා හීනෙන් කතා කළාට මේ වෙනකම් කවදාවත් හීනෙන් ඇවිදලා නෑනෙ කියලා....."


මම කිසිත් නොපවසමින් සිනා සෙමි. මා පැවසූ වචනද අම්මාට ඇසුණාද මම නොදනිමි.


"දැන් නින්ද යන්නෙම නෑ වගේ නේ... ? රෑ දෙගොඩහරිය පහු වෙනකම් ඇහැරගෙන. ඊළඟට උදේ බලද්දි ඉර පායන්නත් කලින් ආයෙ ඇහැරිලා"
වදින සියුම් තැන් වලට ප්‍රහාර එල්ල කිරීම අම්මා ළඟක සිට කාගෙන් උගෙන ගෙන ඇත්දැයි මම සිතමි.


"තීසිස් එකේ වැඩනෙ අම්මා" මම ඇගේ උපහාසය නොදැනුණා සේ පවසමි.


"ඒක තමයි මමත් කිවුවෙ" අම්මා සිනාසෙමින් ඉවතට යයි. 


මම පු‍ටුවේ වාඩි වී තේ කෝප්පයේ උණුසුම නිවමි.


"කෝල් එක ඉවර නම් උදේට කන්න පාන් රාත්තලක් ගේන්න පුළුවන්ද පුතා?"

අම්මාට කිසිවක් සඟවා පළක් නැති සේය. සියල්ල ඇයට පැවසීමටද සිතේ.
එහෙත් කුමක් පවසන්නද? ඈ කෙරෙහි මගේ සිතෙහි ඇති වී තිබෙන ආකාරයේ හැඟීමක් ඈ හට නොමැති නම් , අම්මාට මේ බව පැවසීමෙන් පළක් තිබේද.
හැරත්, කිසිම දිනයක පෙම්වතකු ඇසුරු නොකරන බවය ඈ මට පවසා සිටියේ. එ සඳහා හේතුවක් මා නොදන්නා වුවත් ඇය එසේ පවසන්නට කුමක් හෝ හේතුවක් තිබිය යුතුය. ඇය අතිශය රූමත් නොවූවත්, සිත් ඇදගන්නා යුවතියකි. එවන් වූ ඇයට වෛද්‍ය පීඨයේ සිටි අවුරුදු 5 ඇතුළත් පෙම්වතකු හමු නොවීම තරමක විමතිය ගෙන දෙන්නකි.


***********************************************


කාලය පිය සලයි.


"Where are you now?" මගේ කෙටි පණිවුඩයට තවමත් පිළිතුරක් ලැබුණේ නැත.
වරින් වර මා හට දුරකතණ තිරය දෙස බැලේ.
නිබන්ධනය බොහෝ දුරට අවසන් වෙමින් පවතියි.


කෙටි පණිවුඩයක හඬ ඇසේ.
"I'm home aiye"


"I was waiting for a reply. You didn't even bother to give a missed call.
Anyway, it doesn't matter now. How was the trip? Did you enjoy it? lol"


"Oh yes, a lot.
A trip to heaven from hell"


ඇගේ නිවහන ඇගේ ගම දැක ගැනීමට ආශාවක් මා හට උපදියි.
 ඊයේ රාත්‍රියේ ඈ පැවසූ පරිදි එය තවමත් නාගරීකරනයෙන් දූෂ්‍ය නොවූ ගමකි.




රෙදි හැට්ට අඳින අම්මලා අපේ ගමේ තවම ඉන්නවා. තවම කුඹුරු මී හරක්ගෙන් හානවා. සෙරෙප්පු දෙකක් නැතුව ඉස්කෝලෙ යන පොඩි ළමයි තවම ඉන්නවා. ඒ දුප්පත් කමම නෙමේ. මම දකින්නෙ අව්‍යාජ ගැමි කම කියලා. 
ඈ පැවසූයේ එසේය.
මම ඇයට ඇමතුමක් ගනිමි. "කොහොමද?"
"දැන්ද ආවෙ? මහන්සි නැද්ද?"


"මහන්සියි ටිකක්..... ඒත් නෑවාට පස්සෙ මහන්සිය ගියා"


"ආ මෙයා හොඳට නාලා කාලා තමයි නේද මට රිප්ල්ය් කළේ? මම බලාගෙන හිටියා වවුනියාව බස් එකේ වවුනියාවටම ගියාද කියලා"


"ෆෝන් එකේ ක්‍රෙඩිට් තිබුනෙ නෑ අනේ... අනුරාධපුරෙන් රිචාජ් කරගත්තෙ. ඉතින් කොහොමද ?"


"ඉතින් නංගි අලියා වෙලාවට ආවද?"


"මොකක්? මොන අලියාද?"


"ඔයාලගෙ පැත්තෙ මිනිස්සු යන්නෙ අලියා පිටේ නේ? බස් නෑනෙ"


"අනේ මේ...!"


"එහෙනම්, ලොරි බාගෙද ?"


"නෑ බර බාගෙ"

42 comments:

  1. නිදි මතයි, කියෙව්වට ඔළුවට වැටෙනවා මදි..හෙට උදේට ආයේ කියවලා බලන්නං...

    ReplyDelete
    Replies
    1. ඉතින් කියෙවුවද? මට නම් මේ ටිකෙ කිසි බ්ලොග් එකක් කියවන ලැබුනෙ නෑනෙ

      Delete
  2. // "බොරු කියන්න එපා" ඈ පවසන්නේ බොරුවක් නොවෙන බව දැන දැනම මා පවසන්නේ තුන් සිතම ප්‍රීතියෙන් පිනා යන මොහොතකය //

    හික් හික් ... මම ගොඩක් කැමති මේ කෑල්ලට.

    ReplyDelete
    Replies
    1. එහෙමනෙ අපි. හැම වෙලාවෙම අපි ආසා දෙයක් කවුරු හරි කියනවා නම් "බොරු කියන්න එපා" කියනවා. එතකොට එයා නෑ නෑ එහෙම තමයි කියනවා අහන්න අපි හරි ආසයි.

      Delete
  3. මේකත් මෙගාද ??

    ReplyDelete
    Replies
    1. නෑ නෑ... තව කොටස් දෙකයි. වැඩිම වුනොත් තුනයි

      Delete
  4. හරිම රොමෑන්ටික් කතාවක්..මේ කතාවට නම් කමෙන්ට් කරන්නෙ අදමද කොහෙද..වෙනදා කියවලා හොරෙන්ම යනවනේ..

    ලස්සනයි සිඳු..ඒත් දසුන් ටිකක් විතර පස්සෙන් යනවා වැඩියි වගේ..බලමුකෝ..

    ආ...කලින් කොටස්වල අගට ඊළඟ කොටසේ ලින්කුව එල්ලන්න පුළුවන් නම් දිගටම කියවන්න ලේසියි සිඳු..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. කලින් කෙල්ලො පස්සෙ ගිහින් පුරුද්දකුත් නෑ ලුනෙ. (එයා තමයි කියන්නෙ. කවුද දන්නෙ ඕවාගෙ ඇත්ත නැත්ත)

      Delete
  5. ලස්සන කතාවක්..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බුද්ධි. ආයෙ එන්න

      Delete
  6. චුට්ටක් කොටස් එනවා පරක්කු වැඩී වගේ බෑද සතියකට එකක්වත් එවන්න

    ReplyDelete
    Replies
    1. කම්මැලිකම ලොකුයිනෙ ඩිලන්

      Delete
  7. පෙම් කරන කාලයට වඩා. පෙම් සිත් පහලවූ කාලයත් දෙදෙනා අතර සඟවාගත් අදහස් ප්‍රකාශ කරන කාලයත් සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. ඒ තරම් ලස්සන කාලයක් නෑ. මතක් කර කර හිනා වෙන්න පුලුවන්.

      Delete
  8. මට අමතක වෙනවනේ අප්ප මුල ආය යන්න වෙයි ඒවා කියවල එන්න.. :(

    ReplyDelete
    Replies
    1. අනේ සොරි හිරු. මගෙ කම්මැලිකමනෙ.

      Delete
  9. කොටස් 10ම ගියා දැනුනෙම නෑනේ කතාවේ ලස්සනට... :)

    ඉතිරියත් බලාපොරොත්තුවෙන්..

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටික ඉක්මනින් ලියනව මල්ලි. තව වැඩියෙ නෑ

      Delete
  10. කියන්නත් ලැජ්ජයි.. ළමයි දෙන්නෙක්ගේ තාත්ත කෙනෙකුත් රසවිඳිනවා (කාටවත් කියන්න එපෝ !)

    ReplyDelete
    Replies
    1. මොනවද සරත් රසවිඳින්නේ? කියන්න බැරි දෙයක්ද?
      henryblogwalker the Dude

      Delete
    2. කොල්ලන්ගේ කෙල්ලන්ගේ ලව් කතා !!

      Delete
    3. වයස ප්‍රශ්නයක් නෑ අයියෙ

      Delete
  11. දසුන් නොකියා කියනවානෙ.ඔච්චර ඉක්මනට කියන්න ගිහින් ඇනෙයිද දන්නෙ නෑ. :O

    ReplyDelete
    Replies
    1. මමත් හිතුවෙ ඒකමයි. හදිස්සි වෙනවා වැඩියි එයා. ඒකනෙ හැමවෙලාවෙම පසන් කියන්නෙත් "වලකට පනින්න කලින් ඒ වලේ කිඹුල්ලු ඉන්නවද බලන්න"කියල.

      Delete
  12. හප්පේ යන්තම් කතාවෙ කොටසක් ඇවිත්!
    එන පොට නම් හොඳ නැහැ වගේ, සමාන්‍ය කතාවක පාරෙන් අලුත් පාරකට හැරෙන්න වගේ. ඒක හොඳයි! බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. මමත් මේ බැලුවෙ ඒක තමයි. දෙකෙන් එකක් වෙන්නෙ නැතෑ. මටත් බෑ හැමදාම මෙහෙම දසුන් ව බලාගන්න

      Delete
  13. මම කල්පනා කලේ සිඳූ කොල්ලෙක් හැටියට හිතන හැටි..!
    අර පින්තූරෙ නම් මාර ලස්සනයි සිඳූ. ඔයා ගත්ත එකක්ද? ඕය වගේම තැනක් මම ගත්තා හයිලෙවල් පාරෙ ගලගෙදර පාලම ලඟ ඉඳලා.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මම කරපු ලොකු වරදක් ඒ. මම නෙමේ ඒක ගත්තෙ. ලින්ක් එක දැම්මෙ නැති එක ලොකු වරදක්. ඉක්මනින් ලින්ක් එක දාන්නම් හොයලා. පොළොන්නරුවෙ වෙල් යායක් මේ.

      Delete
  14. මමත් ඊයේ රෑ ජංගමෙන් කියෙව්වේ කමෙන්ට් කරන්නම අයේ ආවා අදත් xD නියමයි නවකතාවක තිබිය යුතු සියළුම ගුණාංග තියනවා ජය!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියො.

      Delete
  15. /එක් දෙයක් පැහැදිලිය. සියල්ලන්ටම කලින් මා අද අවදි වී සිටිමි./

    සිදු අක්කා නම් ඕකෙ අනිත්පෑත්ත වෙන්න ඔනි. :P :D

    අක්කා කොල්ලෙක් හෑටියට කතාව ලියන විදියට නම් මම ගොඩක් කෑමතියි. අර පින්තූරෙ හරි ලස්සනයි. ඒක අක්කා ගත්ත එකක්නම් ඔය වෙල්යාය තියන තෑනත් දෑනගන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. මට නම් මොන ප්‍රශ්නෙ තිබුණත් නින්ද යන්නෙ නැත්තෙ නෑ. දවස් දෙකයි ප්‍රශ්න නිසා නින්ද නොගියෙ. එකක් මගෙ පළවෙනි වතාවෙ උසස් පෙළ ප්‍රතිපල. අනිත් එක බලධාරියා විසින් කපා දමන ලදී..

      Delete
  16. හැමදාමත්ම වගේ කතවේ චරිත ගොඩ නැගිම සහ පෙළ ගැස්වීම නිසා වචන වලින් සිතුවම් අදිනවා.හැබැයි මේවගේ කතාවක කොටස් දෙකක් අතර කාල පරාසය නම් ටිකක් දිගයි වගේ එතකොට මුල අමතක වෙනවා.

    ආයෙමත් ලින්ක් එක දිගේ ගිහින් මතකය අලුත් කරන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිත් කොටස් ටික ඉක්මනින් දාන්නම් අයියෙ.

      Delete
  17. පින්තූරෙ නම් හරිම ලස්සනයි (කතාව වගේම).. මේවා දකිනකොට මටත් හිතෙනවා මේ ඔක්කෝම අතහැරලා දාල ගමට ගිහින් කුඹුරක් කොටලා, ඔරුවක් පැදලා, නෙළුම් කොලේ බත් කාල ඉන්න. මොකද හිනාවෙන්නේ? විහිළු නෙවි සිරාවටම හිතුණා..

    ReplyDelete
    Replies
    1. මාර වැඩේ... දසුන්ටත් ඔහොම හිතෙයිද දන්නෙ නෑ. ඉතින් යන්න ඉන්න පළාතෙවත් බලමු නේ එහෙම දෙයක් වත් කරගන්න පුලුවන් වෙයිද කියල

      Delete
  18. මම ඒත් බැලුව සිඳු කියන්නේ කෙල්ලෙක් නේද කියලත්. කතාව ලස්සනයි මේකේ තව කොටස් තියෙනවා නේද? මම මේ බ්ලොග් එකට අලුත් නේ..

    ReplyDelete
    Replies
    1. සිඳු කියන්නෙ කෙල්ලෙක් තමයි අනෙ. හිමීට කියවලා බලන්නකො.

      Delete
  19. ඔක්කොම කියෙව්ව සිඳු....මේක ලියල ඉවර වෙලා පොතක් කරන්න..හරිම ලස්සන නවල් එකක් වේවි...

    ReplyDelete
    Replies
    1. හි හී... ඒවට ගිහින් මාවත් රජයට පවරා ගනියිද දන්නෙ නෑ. ම්ප්කද පාඩු ලබන ආයතන රජයට පවරා ගන්නව

      Delete
  20. හපොයි දෙයියනේ !!!!!!!!!!!!!!!! මම නැති ටිකව ලෝකේ වෙනස් වෙලා තියන කරමක් :O අනේ ඉවසන්න බැරියෝ........... කවදද ඒ ලෙවල් ඉවර වෙන්නේ, මට මේ පෝස්ටි ටික කියවන්න ඕනීීීීීීීීීීීීීීීීීීීීිි........................................

    ReplyDelete
    Replies
    1. හා හා.... ඉස්සර වෙලා විභාගෙ කරගෙන එන්න. ඊට පස්සෙ අපි දෙන්නම එකතු වෙලා කියවමු

      Delete