Thursday, August 30, 2012

හඹා යාම 11


බ්ලොග් එකක් තියෙනවද නැද්ද කියලාත් අමතක වෙලා ටික දවසක් ගත වුණා.... දසුන්ටයි ආදිත්‍යාටයි මොනව වෙලාද දන්නෙ නෑ කියලා මතක් වුණේ ඒ අතරෙ. ඒ නිසා ඔන්න මම ඒ ගැන ආයෙ හොයලා බැලුවා. දසුන්ට තියනවලු ලොකු කතාවක් කියන්න. ඒත් කලින් සිද්ධ වුණේ මොකද කියලා අමතක නම් , ඊට කලින් ඒ ගැන ටිකක් මතක් කර ගන්නකෝ............

01             02               03                 04             05             
06             07               08                 09             10


ඒත් කම්මැලි නම්, මමම මතක් කරලා දෙන්නම් කෙටියෙන් මොකද වුණේ කියලා....

අපේ කතානායකයා දසුන් අනුදිත් වෘතියෙන් ඉංජිනේරුවෙක්. උපාධිය ඉවර කරලා, රස්සාවක් එහෙම කරගෙන ඉන්න ගමන් මෙයා පශ්චාත් උපාධිය හදාරනවා. දසුන්ට ඉන්නෙ එයාට පණටත් වඩා ආදරේ කරන අම්මා විතරයි. අම්මාගෙ ආදරයත්, තමන්ගෙ රස්සාවත්, අධ්‍යාපන කටයුතුත් එක්ක සැහැලුවෙන් ඉන්න දසුන් ගෙ ජීවිතේ අනිත් පැත්ත පෙරලෙන්න ගත්වන්නෙ ඉතාම සුලු මොහොතයි.
ඒ බස් එකේදි දකින යුවතියක් නිසා... තමන්වත් නොහිතන විදියට, තමන්ගෙ හිත ගත්තු ඇය සොයාගෙන යන දසුන් ට අවසානයෙදි ඇය  හමු වෙනවා. ඒ ඩොක්ට ආදිත්‍යා විදියට....... ඒත් තමන්ගෙ හිතේ තියන හැඟීම් කියා ගන්න තවමත් දසුන් ට ශක්තියක් නෑ. ඒ වෙන මොකුත් නිසා නෙමේ.... ආදිත්‍යා කිසිම දිනයක පෙම්වතකු ඇසුරු නොකරන බව තරයේම කියා සිටි නිසා.......

මතකද කලින් දවසෙ කතාව ඉවර වුණ හැටි?


"ඉතින් නංගි අලියා වෙලාවට ආවද?"




"මොකක්? මොන අලියාද?"




"ඔයාලගෙ පැත්තෙ මිනිස්සු යන්නෙ අලියා පිටේ නේ? බස් නෑනෙ"




"අනේ මේ...!"




"එහෙනම්, ලොරි බාගෙද ?"




"නෑ බර බාගෙ"


ඔන්න එතන ඉඳන් මොකද වුණේ කියන්න දසුන්ටම ඉඩ දෙමු එයාගෙ සුපුරුදු පණ්ඩිත වාක්‍යත් එක්කම. :-)

******************************************************

ඇගේ කෝප සහගත ස්වරයට මට සිනහ  නැගේ. එහෙත් ඒ සුළු මොහොතකට පමණි.
"අත්තම්මා....." 
ඊළඟ මොහොතේ  මට ඇසෙන්නේ ආදිත්‍යා මහ හඬින් කෑ ගසන ආකාරයයි.

"නංගි මොකද වුණේ? .... ආදිත්‍යා....."
මගේ හඬ මා සිතුවාටත් වඩා තීව්‍ර වේ. අම්මාටද එය ඇසෙන්නට ඇත. එහෙත් ඒ වන විට ඇගේ දුරකතනය විසන්ධි වී හමාරය.

මගේ හද ගැස්මේ වේගය මට දැනේ. ඇයට කුමක් සිදු වීද. ක්ෂණිකව ඇති වූ කම්පනය නිසා මගේ මනස වියවුල් වී ගොසිනි.
"පුතා මොකද කෑගැහුවෙ?"
අම්මා කාමරයටම පැමිණ ඇත. ඈ හට පිළිතුරු දීමට සුදුසු මනසක් මා සතුව නැත.
"මොකුත් නෑ අම්මා..." වෙනත් වෙලාවක නම් සිදු වූ සියල්ල ඈ හට පැවසීමට මා හට පුළුවන. එහෙත් දැන් නම් මා හට කළ හැකි එකම දෙය ආදිත්‍යා කතා කරන තුරු ඇගේ දුරකතනයට ඇමතුමක් ලබා ගැනීමය.

"නෑ නෙමෙයි පුතා. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්. ටික දවසක ඉඳලා හරි වෙනස් ඔයා...."

මම ඇයට පිළිතුරු නොදීම නැවතත් ආදිත්‍යා අමතමි.
"ඔබ ඇමතූ දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත  "
මෙවැනි මොහොතක අසන්නට අකමැතිම වාක්‍ය ඛණ්ඩයක් ඇසේ.

අම්මා මා දෙස බලා සිටියි. එහෙත් ඒ බැල්මේ ‍රැඳී ඇති හැඟීම මා හට වටහා ගත නොහැකිය.

"ඔබ ඇමතූ දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත"

මගේ දුරකතනය පසෙකින් තබන මම නළලෙහිම සුරත රඳවාගෙන අසුනකට බර වෙමි. අම්මා මගේ සයනය මත අසුන් ගනියි.

"පුතා, ඔයාට ප්‍රශ්නයක් තියනවා කියලා මට තේරෙනවා. ඒ මොකක් වුණත් මට බයයි ඔයාට කරදරයක් ද කියලා....ඒ නිසයි මෙච්චර අහන්නෙ"

"අම්මා... මේ අහන්න, අම්මට බය වෙන්න ප්‍රශ්නයක් නෑ.... මාව විශ්වාස කරන්න. ප්‍රශ්නයක් තියනවා. ඒත් ඒක මගෙ හිතේ ප්‍රශ්නයක් මිස වෙන දෙයක් නෙමේ..." ඇය බොහෝ දේ වටහා ගන්නට ඇත.ඒ මුහුණේ සැනසිල්ලක සේයාවක් ඇඳී යයි. මේ වියවුල මැද වුව මගේ සිතෙහි අම්මා පිළිබඳව ඇති ආදරය තවත් වැඩේ. ඈ මට කොපමණ නම් ආදරේද. මේ ගැටලුව විසඳාගත් පසුව ආදිත්‍යා පිළිබඳව සියල්ල ඇයට නොවලහා පැවසිය යුතුය. කිසිවක් ඇගෙන් සැඟවිය යුතු නැත.

"හ්ම්ම්... එහෙනම් පුතා කැමති වෙලාවක ඒ ගැන මට කියන්නකො. ඒත් එක එක ප්‍රශ්න ඔලුවට දාගෙන වැඩ අවුල් කරගන්න එපා....." අම්මා කාමරයෙන් නික්ම යයි. ඇගේ මනස සැහැල්ලු වී ඇති බවක් මට දැනේ.

මම නැවතත් දුරකතනය අතට ගනිමි.ඇගේ අංකය තවමත් ක්‍රියා විරහිතය.මා හට සිත එක් තැන් කරගැනීමට නොහැකිය. කුඩා කාලයේ පටන්ම මට හුරු පුරුදු නො ඉවසිලිමත් බව මැනවින් නැවතත්  මතුව ඇත.ඈ හට කුමක් වී ද? කුමක් නමුත් කිසිදු යහපතක් සිදු වී නැති බව නම් මට දැනේ. ඈ කෑ ගැසූයේ කුමක් නිසාද?

****************************************************

ඇඳ වෙතට යන මම නින්දට වැටීමට උත්සාහ කරමි. එහෙත් නින්ද මා කරා නො ඒ. තේ කෝප්පයක් මේසය මත ඇල් වේ. නිබන්ධනයේ තවත් සිලු ප්‍රමාණයක් ඉතිරිව ඇත. එහෙත් ඒ සඳහා යෙදවීමට තරම් නිරවුල් මනසක් මා හට නැත.

අල්මාරියේ උඩින්ම ඇති ටී ෂර්ටය සහ කලිසම ඇඳ ගන්නා මම යතුරද ගෙන නිවසින් පිට වෙමි.
"මම යාළුවෙක්ගෙ ගෙදර ගිහින් එන්නම් අම්මා..."

ඇය මුවින් නොබැන මදෙස බලා සිටියි. එහෙත් ඇය සිතින් සියලු දෙවියන්ගේ ආරක්ෂාව මවෙත පතන බව මම දනිමි.  මා විසින් ඇගේ සිත තලනවා වැඩි බවක්ද දැනේ.

පාරට බැස්ස නමුදු නිශ්චිත අරමුණක් සිත තුළ නොවේ. තවමත් ඇගේ දුරකතනය ගොලුය. මම  මේ වන විට කෙටි පණිවුඩ 6ක් යවා ඇත. ඒවා එකක් හෝ ඈ වෙත ලැබී නොමැත. දුරකතනය තවමත් අක්‍රියය.

මම මීගමුව දෙසට වාහනය පදවමි. නිහඬ හුදෙකලාවක් මා අවට පැතිරී ඇත.

**********************************************

මුහුදේ ගෝසාව සමග එක්ව නද දෙන කපුටන් අහසේ තැනින් තැන කරකැවේ. 
ගින්දර පැහැ ගත් හිරු, දිවා කල දුඹුරු පැහැයෙන් තිබූ මුහුදට ද ගිනි තබා අහවරය. ලංකාවේ දකුණු දිශාවේ මෙන් නොව , මෙම ප්‍රදේශයේ මුහුද නිල් පැහැයෙන් තොරය.වෙරළ දිගට ඉදි වුණ ලොකු කුඩා සංචාරක හෝටල්  ද පැල්පත් සමූහයද නිසා මේ මුහුදේ ස්වභාවික සුන්දරත්වය සැඟවී ගොස් බොහෝ කල්ය.

එහෙත් තවමත් මුහුදු රල හඬ සමග බැඳුනු ගුප්ත හුදෙකලාවට මම පෙම් කරමි.

දණක් දක්වා කලිසම නවා ගන්නා මම වෙරළ ඔස්සේ ඈතට පිය මනිමි. රබර් සෙරෙප්පුවේ පටි අතර ‍රැඳුණු වැලි වලට කැපෙන පාදය වේදනා නොදේ. විටින් විට පා දොවන පෙණ කැටි දෙපයට දැනෙන නොදැනෙන ගාණය. මූදු සුළඟ ගෙන එන ලුණු රස දිවගට නොවැටහේ. 

සිතෙහි ඇත්තේ එකම පැතුමකි. ඒ ඇගන් ඇමතුමකි.  මේ මොහොතේ ඈ මා හට ආදරය නොකළාට කම් නැත. බොහෝ සේ වෛර කළාටද කම් නැත. ඒ සියල්ල කෙසේ හෝ ඉවසීමට මා හට හැකි වේවි. එහෙත් දුරකතනය මෙලෙස නිහඬ වී තිබීම මා හට දරා ගත නොහැකිය.

වෙරළේ තැනින් තැන ‍රැඳී උන් බොහෝ පෙම්වතුන් ආපසු යාමට සැරසේ. කවුරුන් කෙසේ බැලුවත් ඔවුනගේ ලෝකය ඔවුනට සුන්දරය. 

මගේ ප්‍රේමයද අද දින මා වෙරළට කැඳවා ඇත. නමුදු ඒ තනිවමය.

මුහුදු රළ සමග වෙරළට ආ සිප්පි ක‍ටුවක් මා පයට පෑගේ. එහෙත් එය බිඳී නොයයි. මම එය අවුලා ගනිමි. කිරි සුදු පැහැති එය සැබෑ නිකැලැල්ය. සීරීමක සලකුණකුදු නොමැත. මා හට ආදිත්‍යා සිහි වේ.  කරදියෙන් එහි ‍රැඳී ඇති වැලි සෝදා ගන්නා මම එය සාක්කුවේ රුවා ගනිමි.
ඈත ක්ෂිතිජ රේඛාවේ නැවක් යනු මා හට දිස් වේ. අහසේ යන ගුවන් යානයත්, මුහුදේ යන නැවත් කොතරම් දු‍ටුවත් නිරන්තරයෙන් අපේ අවධානය ලබා ගන්නා බව මා කොහේ හෝ කියෙවුවා මතකය.එහෙත අද නම් දෙනෙතින් නැව දකිද්දීත් මා සිතෙහි රජ වී සිටින්නේ ආදිත්‍යා ය.

අසල ඇති ඔරු කඳක් මත මා වාඩි වෙමි. ඒ විඩාව නිසා නොවේ. මා හට සිතීමට උවමනාය. හෙට දිනය වන තුරුත් ඇගේන් තොරතුරක් නොලදහොත් මම ඈ සොයා යමි. ලෝකයේ කොහේ සිටියද මා ඈ සොයා ගත යුතුය.

මම නැවත දුරකතනය ගෙන ඈ අමතමි. දැන් නම් සිතේ කිසිදු විශ්වාසයක් නැත.

එහෙත්,

පුදුමයකි. දුරකතනය නාද වේ. මගේ යැදුම් වලට කුමන හෝ දෙවි කෙනෙක් සවන් යොමු කොට ඇත.
ඇමතුම සම්බන්ධ වේ.

"ආදිත්‍යා නංගි....." ඇය කතා කිරීමටත් පෙරම මම ඉක්මන් වෙමි.....

"හෙලෝ....." ඒ ඇගේ හඬ නම් නොවේ. ඒ ඇගේ මලණුවන් විය යුතුය. "කවුද කතා කරන්නෙ? අක්කා ගෙදර නෑනෙ...."

මෙවන් වෙලාවක නිවසේ නොසිට ඈ කොහේ ගොස් ඇතිද. 

"මම දසුන්. අක්කගෙ යාළුවෙක්..... අක්ක කොහෙද ගියෙ මල්ලි? ඉක්මනින් එයිද? " හැකි තරම් නිවුණ ස්වරයෙන් මම විමසමි. සිතෙහි ඇති චංචල බව ඔහු වටහා ගත යුතු නැත.

"අක්කා ඉස්පිරිතාලෙ. අත්තම්මා ළඟ......"

"ඇයි මල්ලි, අත්තම්මට මොකද වුණේ?"

"හවස කලන්තෙ දාලා වැටිලා තිබුණා. ඉස්පිරිතාලෙට එක්කන් ගිහින් බලද්දි ඒක හාට් ඇටෑක් එකක්ලු"

මගෙ සිතෙහි උපදින්නේ දරගාත නොහැකි තරමේ දුකකි.මේ පුංචි කෙල්ල මේ සියල්ල කෙසේ දරා ගන්නවා ඇද්ද. දෙමාපියන් නොමැති ඈ හට සිටින්නේ අත්තම්මා සහ මල්ලී පමණක් බව ඈ මා සමග පැවසූයේ ඊයෙ හවසය. ඈ ඔවුන් දෙදෙනාට බෙහෙවින් ආදරය කරන බව මා ඒ මොහොතේ වටහා ගතිමි. එහෙත් අද සිදු වී ඇත්තේ කුමක්ද..... මා වහා ඈ සොයා යා යුතුය. ඇය වෛද්‍යවරියක් බව සැබෑය. එහෙත් තමන්ට සිටින එකම පිළිසරණ වූ අත්තම්මා අසනීප වූ කල්හි, ඈ කොතරම් අසරණ වන්නට ඇද්ද. 

"අත්තම්මා...."යනුවෙන් ඈ කෑ ගැසූ අන්දම මා හට සිහිවේ. එහි ගැබ් වූ හැඟීම් මා හට වැටහෙන්නේ දැන්ය.....

මල්ලීගෙන් සියලු විස්තර දැනගෙන හෙට උදෑසනම ඇය බැලීමට යා යුතුය. හෙට වන තෙක් නොසිට , මේ දැන් පිටත් වීමට සිත් වේ. එහෙත් අම්මා තනිවම දමා යාමට නොහැක.

"මල්ලි ආයෙ ඉස්පිරිතාලෙ යන්නෙ කීයටද?"

"තව ටිකෙන් යනවා..... ඕනා බඩු වගයක් ගෙනියන්න ආවෙ.... මම අක්කට කියන්නම් අයියට ගන්න කියලා"

මල්ලීගේ ස්වරය සුහදය.ඈ මා පිළිබඳව ඔහු හා පවසා තිබෙනවාවත් ද.

*****************************************************


ඒ පිළිබඳව පසුව සොයා බැලිය හැකිය. දැන් හෙට ගමනට සූදානම් විය යුතුය. තනිව ඒ ගමන යනවා ට වඩා පසන් ද කැ‍ටුව යාම සුදුසුය. මා පමණක් තනිව ගොස් නිකරුනේ ඈ අපහසුතාවයට පත් කිරීම නුසුදුසුය.....

************************************************
මම පසන් වෙත ඇමතුමක් ගන්නේ වෙරළෙන් නික්මී ආපසු පැමිණෙන අතරතුරය. සුපුරුදු පරිදි එය waiting ය. වෙනදා මෙන් නිහඬව නොසිට මම දිගින් දිගටම  ඔහු අමතමි. අවසානයේදී ඔහු පිළිතුරු දෙයි.

"පුදුම කරදරයක්නෙ මේක.... නිදහසේ මලක්වත් කඩාගන්න නෑ නිවාඩු දවසෙ...."

"උඹගෙ මල පස්සෙ කඩාගනින්.... මට උදවුවක් ඕනා...."

"ඔව් ඔව් මම දන්නවා.... එහෙම දේකට නැතුව මට කතා කරන්නෙ උඹට මම ගැන ආදරයක් හිතිලා මතක් වෙලා නෙමේනෙ... 
කොහොමත් මම මේ මල් කඩ කඩ කළෙත් උඹට උදවුවක් කරන එක තමයි...."

"මොකක්?"

"හ්ම්ම් හ්ම්ම්.... මම මේ ක්‍රිශානි එක්ක කතා කර කර හිටියෙ උඹ ගැන..."

"මොකක්?"

"හැම එකටම මොකක් ගාන්නෙ නැතුව අහපන්.... හැබැයි මේක අහලා බොරුවට දඟලන්න හදන්න එපා.. හරිද"

"මම දඟලන්නෙ නේ.... කියපන්කො ඉක්මනට. "

"මම ක්‍රිශානිගෙ යාලුවෙක්ට කියලා ආදිත්‍යා ගැන හෙවුවා..." 

පසන්ගේ ස්වරය එතරම් ප්‍රීතිමත් නැත. මගේ සිත දැවේ. ඔහු පවසන්නට යන්නේ කුමක්ද...... 
එය සුබ ආරන්චියක් නොවේ නම් එය පසන්ගේ මෝඩ විහිලුවක් වන්නට පතමි........





Monday, August 13, 2012

ටී පණස් හය ද... පෑණ ද...?

(මේ ලිපිය කලින් මම විදුසර පුවත්පතට ලියූවක්. ඒ නිසා දින වකවානු වෙනස්)



යුද්ධය ඉවර වෙලා මාස හයකුත් ගෙවිලා ඉවරයි. ඒත් තැනින් තැන විසිරුණ ත්‍රස්‌තවාදීන් ගේ සිරුරුවල රූපවාහිනී රූප තවමත් හිතේ හොල්මන් කරනවා. යුද්ධය ඉවර වුණත් ඒ යුද්ධයේ අතුරු කතා නම් බොහොමයි. යුද්ධය තිබුණ කාලේ රෝහල් ශල්‍ය වාට්‌ටුවල අතුරු සිදුරු නැති ව පිරිලා හිටිය ඉරි ඉරි සරම් කමිස ඇඳපු සෙබළු දැන් පිට වෙලා ගිහින්. 

ඒත් විකලාංග වාට්‌ටුවෙ නම් තවමත් කිහිප දෙනෙක්‌ ඉතුරු වෙලා ඉන්නවා. බොහොම දෙනෙක්‌ ගෙ අතක්‌ හරි කකුලක්‌ හරි අහිමි වී ගිහින්. ඒ සඳහා වැඩිදුර ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් සිටින මේ හමුදා සෙබළුන් නිසා වාට්‌ටුවේ පාළුවක්‌ නම් නෑ. 
හැම වෙලාවෙ ම ඔවුන් ගේ දුරකථනවලින් හරි කුඩා ගුවන් විදුලි යන්ත්‍රවලින් හරි ඇසුණ ගීත නිසා. ඒ කිසි ම කෙනෙක්‌ අහිමි වුණ අතක්‌ කකුලක්‌ ගැන දුක්‌ වෙනවා පෙනුණෙ නෑ. හිත ඇතුළෙ දුකක්‌ තිබුණත්, හමුදාවෙ දී ලබපු මනා පුහුණුවත්, ඊටත් වඩා, අවුරුදු 30ක යුද්ධයේ නිමාව නිසා හිතේ ඇති වන සතුටත් ඒ දුක තුනී කරලා දානවා ඇති. වාට්‌ටුවේ හිටපු කැප්ටන් නලින් ඇරෙන්න අනෙක්‌ හැම සෙබළෙක්‌ට ම අවුරුදු 25ට වඩා අඩුයි. ඒ වගේ තරුණ වයසෙ දී අතක්‌ පයක්‌ අහිමි වෙනවා කියන්නේ අපිට නම් හිතන්න වත් බැරි දෙයක්‌.

මේ සෙබළුන් අතර මට විශේෂයක්‌ පෙනුණ පුද්ගලයෙක්‌ හිටියා. හමේ තද කළු පැහැයත් එක්‌ක වඩාත් කැපිල පෙනුණ සිනහවක්‌ හැම වෙලාවෙ ම ඔහු ගෙ මුවග තිබුණා. එක්‌ අතක්‌ හෝ පයක්‌ අහිමි වුණ අනෙක්‌ සෙබළුන් අතර ඔහු ගෙ මට පෙනුණ විශේෂත්වය තමයි බැලු බැල්මට අත් සහ පාදවල ආබාධයක්‌ දකින්න නො ලැබීම. ඒ නිසා ම ඔහුත් එක්‌ක කතා කරන්න හිතේ කැමැත්තක්‌ ගොඩනැඟුණා.

සුපුරුදු ලෙන්ගතු හිනාවෙන් ඔහු මාව පිළිගත්තා. මම ඔහු ගෙ ඇඳ ඉහපත් වාර්තාව දිහා බැලුවෙ වයස දැනගන්න. අවුරුදු 20යි. "කොහොම ද මල්ලි? මොකද කරන්නෙ?" කතාව පටන් ගන්නට මම අර ඇන්දා.

"phone එකෙන් ටී.වී. බැලුවා අක්‌කේ. මෙතෙන්ට චැනල් 12ක්‌ පේනවා හොඳට"

"ඇයි මල්ලි මේ වාට්‌ටුවෙ නැවතිල ඉන්නේ?" සාමාන්‍ය ප්‍රශ්න කීපයකට පස්‌සෙ මම ඇහුවා.

"මේ අත හින්දා .." ඔහු දකුණු අත ඔසවා මට පෙන්නුවා. සිදු වී ඇති දේ එවිටයි මම දැනගත්තෙ.

ඒ wrist drop නමින් වෛද්‍ය විද්‍යාවෙ හඳුන්වන තත්ත්වයක්‌ මෙහි දී සිදු වන්නේ, අතේ ඇති ස්‌නායුවකට (අරීය ස්‌නායුව - radial nerve) හානි වීම නිසා මැණික්‌ කටුව අසලින් අත ඉහළට ඔසවන්නට නොහැකි වීම. පොළොවට සමාන්තරව දෑත දිගු කළොත් අරීය ස්‌නායුවට හානි වී ඇති අතේ මැණික්‌ කටුවට පහළින් පිහිටි කොටස එල්ලා වැටීමක්‌ මෙහි දී නිරීක්‍ෂණය කරන්න පුළුවන්. අතේ එම කොටස ඔසවා තැබීමට (Extend) අවශ්‍ය වන මාංශ පේශිවලට සපයන්නේ එම ස්‌නායුව වීමයි මෙයට හේතුව. එම නිසා මේ රෝගීන් ගේ ග්‍රහණ හැකියාව තරමක්‌ දුරට අඩු වෙනවා. (අත මැණික්‌ කටුවෙන් නමා (Flex) යමක්‌ තදින් ග්‍රහණය කිරීමට උත්සාහ කරන්න. සාමාන්‍ය ග්‍රහණයකට වඩා එය දුර්වල ග්‍රහණයක්‌ බව ඔබට දැනේවි) කෙසේ වෙතත් මේ සඳහා ප්‍රතිකර්මයක්‌ ලෙස විකලාංග ශල්‍ය වෛද්‍යවරුන් විසින්, අත මැණික්‌ කටුවෙන් ඔසවා තබන්නට ශල්‍යකර්මයක්‌ සිදු කරනවා. එමගින් ඔවුන් ගේ ග්‍රහණය කිරීමේ හැකියාව වැඩි කිරීමක්‌ සිදු වෙනවා.

"මොකද මල්ලී අතට වුණේ?"

"බුලට්‌ එකක්‌ වැදුණා අක්‌කේ"

"ඉතින් කවද ද අත හදන surgery  එක කරන්නේ?"

"අනිද්දා කරනවා කියලා තමයි කිවුවෙ......."

"ඒක හොඳයි ඊට පස්‌සේ කරදරයක්‌ නැතුව වැඩ ටික කරගන්න පුළුවන් වෙයි නෙ"

"දැනටත් එච්චර කරදරයක්‌ නෑ අක්‌කේ"

ඔහු ගේ පිළිතුර මට පුදුමයක්‌ වුණා.

"ඇයි එහෙම කියන්නේ?"

"මම හිතාගෙන ඉන්නේ ආයෙම වැඩට යන්න. ඒත් මට මුලින් වගේ තුවක්‌කුව පාවිච්චි කරන්න බෑ. මගේ කැමැත්ත තියෙන්නේ office එකේ වැඩ කරන්න. මම A/L කළ නිසා පුළුවන් වේවි office එකට යන්න.

"ඒත් ඔයා ගෙ අතින් ලියන දේවල් කරන්න අමාරු නැද්ද ඔයාට?"

"ලොකු අමාරුවක්‌ නෑ. ඇඟිලි හොඳට වැඩ කරනවා නෙ. මම හැම දා ම මොනවා හරි ලියනවා.....බයයි ලියන්න බැරි වෙයි කියලා"

"මොනව ද ලියන්නෙ හැම දා ම?" මම විමසුවා

"විශේෂයෙන් එක දෙයක්‌ නෙමේ....... හිතට එන දේවල් ලියනවා. කවි ලියනවා"

"කවිත් ලියන්න දන්නව ද?"

"පෙන්නන්න ද?" මගේ ආරාධනයක්‌ නැති ව ම ඔහු කුඩා කොපි පොතක්‌ අරගෙන මගේ අතට දුන්නා...... මම ඒ පිටු එකින් එක පෙරළුවා. අදහගන්න බැරි තරම් පැහැදිලි අකුරුවලින් කවි පද පේළි සිත්තම් වෙලා තිබුණා. wrist drop කෙනෙක්‌ ගෙ ලිවීමේ හැකියාවට සෘජුව ම බල නො පෑවත්, මේ හැම දෙයක්‌ ම රඳා පවතින්නෙ කෙනෙක්‌ ගෙ ආත්ම විශ්වාසය මත........ ඇත්තෙන් ම මේ වගේ ලොකු ආත්ම විශ්වාසයක්‌ තිබුණ හමුදා සෙබළුන් නිසා ම තමයි, අද අපි නැවතත් මෙහෙම හිනා වෙලා ඉන්නෙ.

තුවක්‌කුවක්‌ අරගෙන කැළෑවකට වෙලා යුද්ධ කරපු හමුදා සෙබළෙක්‌ ගෙ හිතේ මේ වගේ සුන්දර අදහස්‌ තියෙනව ද කියලා මට හිතුණා. විවිධ මාතෘකාවලින් කවි 20කට වඩා ලියවිලා....... මගේ මිතුරියත් එතෙන්ට ආවෙ ඒ මොහොතෙ. අපි දෙන්න ම කවි පොතත් අරන් වීදුරු ජනේලයක්‌ ළඟට ගියා. "මට පුදුමයි යුද්ධ කරන්න හැදුණ හිතක මේ වගේ අදහස්‌ තියෙන්නේ කොහොම ද කියලා....." මම කිවුවා. ඇය දුන්නේ අපූරු උත්තරයක්‌.

"මේ නම් යුද්ධ කරන්න ඉපදුණ කෙනෙක්‌ නෙමෙයි. මොකද්ද අවාසනාවකට ඒ අතට තුවක්‌කුවක්‌ ලැබුණට ටිකක්‌ පරක්‌කු වෙලා හරි මේ විදිහට පෑනක්‌ ලැබුණ එක නම් ලොකු වාසනාවක්‌"

Sunday, August 12, 2012

මලෙක හදවත

රහසෙ සුපිපුණ පිච්ච මල වට
ඇගේ කඳුලැලි විසිරෙනා සඳ
වියලි දෙනෙතින් බැලූ නුඹෙ වත
‍ඇයයි ‍රැඳුනේ කඳුලු කඳුරක...

නුඹේ හදවත පිපුණු සෙනෙහෙට
දැවී යද්දී පිච්ච මල හද
තැවි තැවී ඒ සොඳුරු හදවත
සිතේ උතුරන කඳුලු දු‍ටුවද...

නුඹට නොදැනෙන එමුදු හදවත
නුඹේ වදනින් තව පෙළෙන විට
ලොවට රහසින් ගිලී කඳුලෙම
මැරී යද්දෙන් ඇගේ හදවත...


















http://www.amoleflower.net/wp-content/uploads/2011/10/Jasmine-Flower-4.jpg

Thursday, August 9, 2012

සිංහරාජය බලා......

මේ නිවාඩුව කවදා වෙනකම් තියෙයිද කියන්න බෑ. මාසයක් වෙන්න පුළුවන්. මාස තුනක් වෙන්න පුළුවන්... මාස හයක් වෙන්නත් පුළුවන්......... ඒ නිසා පහු ගිය දවසක යාළුවෙක්ගෙ ගෙදරදි හමු වුණ අපේ සෙට් එක (group C ගැට්ට) තීරණය කළා කොහෙ හරි යන්න. 

එක එක යෝජනා වලින් පස්සෙ සම්මත වුණේ සිංහරාජෙ යන්න.

කතා කරගත්තු විදියට පහුගිය සෙනසුරාදා අපි  සිංහරාජෙ යන්න පිටත් වුණේ නොහිතුව විදියෙ පුදුමයකුත් එක්ක. ඒ විනාඩි 15ක පමණ ප්‍රමාදයක් හැරෙන්නට වෙනත් ප්‍රමාදයක් සිදු නොවීම.චාරිකා සඳහා ප්‍රමාද වීම අපේ කණ්ඩායෙමේ අනන්‍යතාවයක්. එක වතාවක් කිතුල්ගල යන්න කැම්පස් එක ඉස්සරහට 5.30ට එන්න කතා වුණ අපි, යන්න පිටත් වෙනකොට කැම්පස් එකට ළමයින් ඇවිත් දේශන වලටත් ගිහින්. තවත් දවසක් සීගිරි යන්න 5.30ට රෝහල ඉස්සරහට ආව අපි යන්න පිටත් වෙද්දි රෝගීන් බලන්න ආව අමුත්තොත් පිට වෙලා ගිහින්. ඉතින් ප්‍රමාද වීම ගැන ඒ වගේ  ප්‍රෞඪ ඉතිහාසයක් තියන අපි 6.30 ට පානදුරෙන් ගමන් ඇරඹුවා කියන්නෙ ලොකුම ලොකු දෙයක්.....

පානදුර මතුගම පාර ඔස්සේ අපි සිංහරාජෙ යන්න පිටත් වුණා. තමන්ගෙ ගමට වඩා සිංහරාජෙ හොඳින් අඳුනන යාලුවෙකුත්, සිංහරාජෙ කලුද සුදුද කියලවත් දැනගෙන නොහිටිය දෙන්නෙකුත් ඇතුළුව අපි 11 දෙනෙක් ගමනට සහභාගි වුණා. බස් එකට ගොඩ වුණ වෙලාවෙ ඉඳන්ම බඩගිනියි කියලා එක එක්කෙනාගෙ පැමිණිලි අවසන් වුණේ අතරමග තිබුණ ලස්සන වෙල් යායක් ළඟට වෙලා උදෑසන ආහාරය ගත්තාට පස්සෙ.

මෙතන තමයි අපි උදේට කෑවෙ. මේ ඉන්න කෙනාව අඳුනනවද බලන්න


එච්චර වෙලා ඇල් මැරුණ ස්වභාවයෙන් හිටිය කට්ටියට සින්දු කියන්න පණක් ආවෙ ඊට පස්සෙ. අපේ එක යාළුවෙක් බොංගෝ වාදනයට අත් පොත් තැබුවෙ එදා. රුපියල් 7000ක් දීලා බොංගෝ එකක් එයා අරන් ඇවිත් තිබුණෙ වාදනය ඉගෙන ගන්නමලු. පැහැදිලිවම එයා හොඳින් වාදනය කළා. කොයි තරම් හොඳද කියනවා නම් ගායනා කළ සෑම ගීතයටම එයාට තිබුණෙ එකම බීට් එකක්. (සිඳු ගෙ ගායනය වගේ තමයි)


ඒත් ටික වෙලාවකින් ආයෙමත් ගීත ගායනය වියැකිලා ගියා. ඒකට හේතුවක් තිබුණා. වෙනදාට ගීත ගායනයට කප් ගහපු කෙනා එදා අපි එක්ක යන්න ආවෙ නෑ. සිඳු ට නම් ඕනම සින්දුවක වගේ වචන මතකයි.ඒත් ඉතින් ඒ හැම එකේම තියෙන්නෙ එකම තාලෙ තමයි. 

අපේ එක්කෙනෙක් හිටියා, එයා දන්නෙ බස් අජිත්ගෙ සින්දු විතරයි. තව එක යෙහෙළියක් දන්න එකම සින්දුව "ඕයේ ඔජායේ" විතරයි. ඉතින් බස් එකට නැගපු වෙලාවෙ ඉඳලා එයා කෑ ගැහුවෙ "අනේ ඕයේ ඔජායේ කියමුකෝ" කියලා විතරයි. ඒ නිසාම චාරිකාව අවසන් වෙනකම්ම අපි ගායනා නොකරපු එකම ගීතය ඒක විතරයි. ගායනා නොකලම නෙමේ..... පටන් ගත්තා කිහිම සැරයක්ම
"විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා..." ඔන්න එතකොටම අපේ යාළුවා අත්පොඩි ගහලා එහෙම ලෑස්ති වෙනවා ඒක කියන්න. එතකොටම හැමෝම ඒක නවත්වනවා ස්විච් එක ඕෆ් කළා වගේ.....එහෙම වුණා දෙතුන් වතාවක්ම. 
ඉතින් වියැකිලා ගිය ගායනයට ආයෙ පණ ගන්න අපිට වෙන මාර්ගයකට යන්න වුණා. ඒ තමයි "ගීතයෙන් ගීතය" කිරීම කණ්ඩායම් දෙකකට බෙදිලා. අපේ යාලුවො හරී සාධාරනයි. ඒ නිසා කණ්ඩායම බෙදුවෙත් හරිම සාධාරනව. එක කණ්ඩායමකට සිඳු සහ තවත් යෙහෙලියන් දෙන්නයි, අනිත් එකේ ඉතුරු 8 දෙනාම.
අපි නම් සැලෙයි, අපි අභියෝගය බාර ගත්තා. කිසිම ප්‍රශ්නයක් නෑ, මුල් ටිකේ අපි දිනාගෙන දිනාගෙන ආව. ඔන්න ඒ වෙලාවෙ තමයි අලුත් නීතියක් මතු කළේ අනිත් කණ්ඩායම.
"සින්දුව අපි කොහෙන් නැවැත්තුවත් එතන ඉඳන් පටන් ගන්න ඕන... වචනෙ අන්තිම අකුරෙන් නෙමේ"
කමක් නෑ....... අපි ඒ අභුයෝගයත් බාර ගත්තා.

ඒකත් සුමටව ගලාගෙන ගියා ටික වෙලාවක්. ඔන්න ඒ පාර තමයි දුස්‍රා එන්න ගත්තෙ.
දෙතුන් වතාවක්ම "ශ්‍රී" වලින් ඉවර කරන්න අපේ පසමිතුරු පිළ උනන්දු වුණා. ටිකකින් ශ්‍රී වලින් පටන් ගන්න සියලුම ගීත අවසන් ව්නා..... ඒත්  මම කිවුවනෙ, අපි නම් සැලෙයි
"ශ්‍රීපාදේ සමනළ කන්ද පෙනේ......" හූ හඬත්, සිනා හඬත් එක්ක අපි දිගටම "ශ්‍රීපාදේ සමනල කන්ද පෙනේ... " ගායනා කළා.

ඊට ටික වෙලාවකට පස්සෙ එයාලා ගායනා කරන්න පටන් ගත්තා 
"ලංකා ලංකා පෙම්බර ලංකා...
හොබවමු ඔබ ලංකා දිවි දී
සුරකිමු ඔබ ලං........" එච්චරයි.
අන්තිම අකුර ං (බින්දුව)

"දැන් ඉතින් කියනවකො බලන්න" ඉතින් මොනව කරන්නද, අපේ ත්‍රිපුද්ගල කණ්ඩායමේ එක් යෙහෙළියක් පටන් ගත්තා
"බිංදු බිංදු තාරකා - කඳුලු මල් විලේ"
ඔන්න ඔහොමයි අපි ඒ අභියොගය බාර ගත්තෙ.

අපි කලවානෙන් බස් එක නැවැත්තුවා කන්න බයිට් සහ බොන්න කෝක් ගන්න. එතනදිම තමයි මතක් වුණේ කූඩැල්ලන්ට ගාන්න සිද්ධාලේප ගන්නත්.
එතන ඉඳන් ජනප්‍රියම ගීතය වුණේ "කැක්කුම් ඔක්කොම නස්නාලේපේ- විස්කම් දක්වන සිද්ධාලේපේ......"  


ඒ වෙද්දි සියලුම දුරකතන සමාගම් අපිව අත ඇරලා තිබුණෙ. මීට අවුරුදු කීපයකට කලින් දැක්ක පාරවලුත් එහෙම්මම තිබුණා ඒ වෙද්දිත්. මග නැගුමක් නම් දැක්කෙ නෑ.

සිංහරාජෙට ඇතුළු වෙන්න කලින් අපිට මාර්ගෝපදේශකයෙක් ලැබුණා. ඒත් කුරුලු උණ, සමනල් උණ සහ කැලෑ උණ තිබුණෙ සිඳුට සහ තවත් එක්කෙනෙක්ට විතරයි. ඒ නිසාමද කොහෙද මුලදි පැළෑටියෙන් පැළෑටිය අපිට කියලා දුන්න ඔහු ටික වෙලාවක් යද්දි  පාර පෙන්වන්න විතරක් උනන්දු වුණේ. 
ඇත්තම කිවුවොත් මේක හුදු විනෝදය තකා ගිය ගමනක් මිස, ගවේශනාත්මක චාරිකාවක් වුණේ නෑ. ඒ නිසයි කැලෑව ගැන නොලියා චාරිකාව ගැන ලියන්නත් හිතුනෙත්.


කොහොම වුණත් සාමාන්‍යයෙන් සිංහරාජෙ දකිනවාට වඩා කුරුල්ලන් ප්‍රමාණයක් අපිට එදා දකින්න ලැබුණා. 
ඒ අතරින්ලංකාවට ආවේණික විශේෂ කිහිපයක්මත් දකින්නට ලැබුණා.
 
කැහිබෙල්ලා.  18-55 කැමරාවෙන් , ට්‍රයිපොඩ් එකකුත් නැතිව මීට වඩා හොඳට ගන්න බැරි වුණා.

කුරුල්ලන් නරඹන්න ආසාවක් තිබුණත් මම පෞද්ගලිකව කැමති සමනළුන් ගැන අධ්‍යනය කරන්න.
ඒ නිසාම දකින්න ලැබුන සමනලුන් මගෙ හිත අමන්දානන්දයට පත් කළා.
ඒ අතරින් කිහිප දෙනෙක්

මේ මගෙ කැමරාවෙ සටහ වුන  pulm judi


ඇවිදින්න පටන් ගද්දි හරි පොෂ් කියල හිතාගෙන සිඳු එයාගෙ කැමරාවයි, නංගිගෙන් ණයට ගත්තු බෑග් එකයි කරේ එල්ලගෙන හිටියෙ. 

ඒත් ඒ පොෂ් වාෂ්ප වුණේ මුල්ලේගල නගින්න ගත්තට පස්සෙ. කැමරාව බෑග් එක ඇතුළට බැස්සා. බෑග් එක යාළුවෙක්ගෙ කරේ එල්ලුණා.... සිඳුට හුස්ම ගන්නත් අමතක වුණා. යාළුවන්ගෙ වචන වලින් කියනව නම් "එංජිම බොයිල් කරලා බොයිලේරුවක් වගේ වුනා"

මට නම් තවත් යන්න බෑ කියලා කූඩැල්ලො ඉන්න තැන් තැන් වලම නැවතුන සිඳුව ඊට පස්සෙ යාළුවෙක් අතින් ඇදගෙන උඩටම ගෙනිච්චා. එක මොහොතක් වත් නවතින්න දුන්නෙ නෑ. "අනේ arrhythmia  එකක්වත් ඇවිත් මාව මැරෙයි" සිඳුට හිතුනෙ එහෙම. හිතුනා විතරක් නෙමේ.... අතින් ඇදගෙන ගිය යාළුවාට එහෙම කියලා බැනුනුත් ඇහුවා.

කන්ද උඩට නැග්ගාට පස්සෙ නම් ඒ මහන්සිය කොහෙන් ගියාද නෑ. 

හරිම සුවදායී තරමක් සැර හුළඟත්, එතෙන්ට පෙනුණ මුලු කැලෑවමත්, එච්චර වෙලා සිඳුට අමතක වෙලා තිබුණ පර්සරයේ සුන්දරත්වය ආයෙමත් අපූරුවට මතක් කරලා දුන්නා. සමනල කන්ද හොයන්න අපි උත්සාහ කළත් එදා තිබුණ පරිසර තත්ව අනුව ඒක අපහසු වුණා.



ඒත් ආපසු බහින්න සිද්ධ වුණෙත් අර විදියටම තමයි. විටින් විට එල්ලුණ කූඩැල්ලො නිසා ඇති වුණ ප්‍රමාදය ඇරෙන්නට, වෙන එක මොහොතකවත් නවතින්න යාළුවා ඉඩ දුන්නෙ නෑ.
"කෝ අද කට? මෙහෙම දෙයක්ම වෙන්න ඕනා ඒ කට වැහෙන්නත්" එහෙම කිය කිය සිඳුව කන්දෙන් පහළට ඇදගෙන ගිය යාළුවා ගෙ කනට එදා නිවනක් නොවුනේ "අනේ මනී  මට තවත් යන්න බෑ" කියන වාක්‍යය විනාඩි දෙක තුනකට සැරයක් ඇහුණ නිසා. 
කොහොම හරි මේ එක්කන් යාමට කට්ටිය නමකුත් දැම්මා " ඇදගෙන යාම" කියලා. ඒත් ඇත්තමයි ඒ තරම් පරිස්සමට මාව එක්කන් ආව යාළුවා ට පින්.

කන්දෙන් පහළට බැස්සාට පස්සෙ නම් සිඳුගෙ සුපුරුදු රටාව ඉක්මනින්ම ලැබුණා. කැමරාව ආයෙමත් කරේ එල්ලුණා. ඒත් බෑග් එක නම් දිගටම ගෙනිච්චෙ යාළුවා. දකින දකින් අලුත් ගස්, සත්තු ළඟ නැවතුන කැමරාව සමහර වෙලාවට යාළුවන්ගෙ ඇනුම් බැනුම් වලටත් ලක් වුණා. ඒ "නාන්න" පරක්කු වෙන නිසා. 

අමාරුවෙන් ගත්තු ෆොටෝ කීපයක්.


පලාපොළඟා

ඇහැ‍ටුල්ලා

 අං ක‍ටුස්සා

බාඳුරා

කැලෙන් එළියට ඇවිත් අපි දවල්ට කන වෙලාව එනකොට හවස 5ට විතර ඇති. 
කැලේට ආසන්න ගෙදරකින් ලැබුණ ඒ බත් එකේ තිබුණෙ පලා වර්ගයක් සහ අල තෙල් දාලා රතු බත් එක්ක.
බයිට් පැකට්, ඇපල් පෆ් වලින් ඒ වෙනකොට බඩගිනි යන්තමින් නිවාගෙන හිටිය අපට ඒ කෑම වේල දිව්‍ය භෝජනයක් වගේ වුණා.

කොහෙ ගියත් ගෙවල් වල වතුර නෑ වගේ නාන එක අපේ කට්ටියගෙම පුරුද්දක්. ඉතින් මේ චාරිකාවෙදිත් ඒක අමතක වුණේ නෑ. අපි ගඟ ළඟට යද්දිත් කොහෙදෝ ඉස්කෝලෙකින් ආව ළමයි වගයක් නානවා. ඉස්කෝලෙ 5 වසරෙ විතර හිටිය ගෑණු ළමයිනුත් දිය රෙදි ඇඳගෙන නාන එතෙන්ට යන එක අපිට කෙසේ වෙතත් අපේ යාළුවන්ට නම් ප්‍රශ්නයක් වුණා. ඒ නිසා ඔවුන්ව එතනින් ඉවත් කරන්න අපි විවිධ සැලසුම් සකස් කළා.
ළමයි අසලට ගිහින් "මේ ග‍ඟෙ කිඹුල්ලු ඉන්නව..." කීම එකක්. එහෙමත් නැත්නම් කවුරු හරි පොඩි ළමෙක්ගෙ තාත්තා වගේ ගිහින් "ගඟවල් වල නාන්නද අපි ළමයිව ට්‍රිප් එවුවෙ" කියලා කියලා බනින එක තව එකක්.

මොනව වුණත් ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්නට සිදු නොවීම ඒ ළමයි ඉක්මනින් ග‍ඟෙන් ගොඩට ආවා. 

කොහෙ ගියත් ඇඳගෙන ඉන්න ඇඳුම් පිටින්ම නාන එක අපේ ගෑණු ළමයින්ගෙත් පුරුද්දක්. ඒත් එදා නම් නානෙ නැතිව ඉන්න අපි තීරණය කළා. එහෙම වුණා කියලා, සිඳුට හැරෙන්නට අනිත් අය කාටවත් වතුර පාරවල් වලින් බේරිලා ඉන්න නම් ලැබුණෙ නෑ. සිඳු ගෙ කැමරාවට පින් සිද්ද වෙන්න සිඳු වතුර ප්‍රහාර වලින් බේරුණා. අවුරුදු 2කට කලින් ගල්කිස්සෙ මුහුදු වෙරළෙදි , සිඳු කලින් පාවිච්චි කළ කැමරාවට අත් වුණ ඉරණම හැමෝටම මතක තිබුණ නිසා කවුරුත් ආයෙමත් ඒ වගෙ එඩිතර තීරණයක් ගත්තෙ නෑ.


අවුරුදු 7කින් වත් නෑවෙ නෑ වගේ නාපු කට්ටියවත් ගොඩට අරගෙන ආපහු එද්දි කළුවර වැටිලා. ඒ වෙලාවෙ තමයි රස බෙලි මල් කෝප්පයක රහ බලන්න අවස්ථාවක් ලැබුණෙ...... බෙලි මල් නෙමේ, බෙලි ගෙඩියෙ රසටත් ඉස්සර අකමැති වුණ සිඳුත් බෙලි මල් අමෘතය වගේ බොන්න පුරුදු වුණේ මේ යාළුවො ටික නිසා. ඒ මම කලින් පෝස්ට් එකෙත් කිවුව කතරගම ප්‍රදේශයෙ ගත කරපු දවස් වල.
හකුරු කෑල්ලකුත් එක්ක එදා දැනුන ඒ රස කවදාවත් ගෙදර ගෙනල්ල බිවුවට නම් දැනෙන එකක් නෑ.

ආපහු ආව ගමන ඇත්තටම සුන්දරයි. නොබී මත් වෙන්න පුළුවන් කියලා මම දැනගත්තෙ මගෙ යාළුවන්ගෙන්

Wednesday, August 1, 2012

පුංචි පුතා

                 අවුරුදු කීපයකට කලින් අපිට තිබුණා community based medical learning (CBML)  කියලා වැඩසටහනක් කතරගම, හම්බන්තොට වගේ ප්‍රදේශවල. අපට හුරු පුරුදු ශික්‌ෂණ රෝහලෙන් බැහැර වෙලා දුර බැහැර පළාත්වල රෝහල්වල ක්‍රියා පටිපාටිය හඳුනා ගැනීම මෙහි අරමුණ වුණා. 
අධ්‍යයන කටයුතුවලින් බැහැර වුණ වෙලාවට වුණත්, අපට විවේකයක්‌ නො තිබුණේ, මුළු batch එකෙන් ම විනෝදාත්මක, එකමුතු ම clinical group  එක වූ අපේ කණ්‌ඩායම (බැච් එකේ අනිත් අය කියන විදියට  group C ගැට්ට ) එකතු වෙලා විනෝද වෙන්න විවිධ දේ කළ නිසා.(වැඩිපුරම වුණේ විනෝද වුණ එක තමයි නියමිත වෙලාවටත් කලින් රෝහල් වලින් අතුරුදහන් වෙලා)

                  මේ සති දෙක ජීවිතේට ම අමතක නො වෙන්න සිතේ සටහන් වුණේ, යාල, කිරින්ද වෙරළ, ලුණුගම්වෙහෙර, තිස්‌ස වැව ආදී තැන්වලින් ලැබූ වින්දනය නිසා පමණක්‌ නම් නො වේ. තරමක වෙනස්‌ සමාජ පසුබිමක්‌ තුළ මුණ ගැසුණ නොයෙක්‌ රෝගීන් ගැන මතක සටහන් ද ඊට ඉවහල් වුණා.


                  මේ කාල සීමාව ඇතුළත එක්‌තරා රැඳවුම් මධ්‍යස්‌ථානයකට යැමට අපට ඉඩ සැලසුණා. මෙහි සිටින රැඳවියන් අයාල ආඥා පනත යටතේ වරදකරුවන් වී උසාවි නියෝගවලට අනුව රඳවනු ලැබූවන්. ඔවුන් අතරින් වැඩි කොටසක්‌, කිසියම් හෝ මානසික ආබාධයකින් පීඩා විඳිනු ලැබූවන්. ඉතා ම සීමිත පහසුකම් යටතේ තිබූ එහි සිටියොත්, පියවි සිහියෙන් සිටින්නවුන් ගේ වුව, මනස විකෘති වනු ඇතැයි අපට සිතුණා. 


                  එහි කාන්තාවන් රඳවා සිටිනු ලැබූ ස්‌ථානය තරම් මගේ සිත සසල කළ වෙනත් ස්‌ථානයක්‌ නො වූ තරම්. එම කාන්තාවන්ට අමතරව ඔවුන් සමහරක ගේ දරුවන් ද එහි සිටියා. ඔවුන් අතරින් අප සියලු දෙනා ගේ ම අවධානය දිනා ගන්නට එක්‌ බිළිඳෙක්‌ සමත් වුණා. සැප පහසුකම් අඩුකම සහ නිසි පෝෂණයක්‌ නො ලැබීම නිසා මැළවුණ ස්‌වභාවයෙන් සිටි  දරුවන් අතර මේ දරුවා ඉටි රුවක්‌ මෙන් කැපී පෙනුණා. "සුද්දෙක්‌ ගෙ ළමයෙක්‌ වගේ" අප අතරින් යමකුට කියෑවුණා. අප දකින අවස්‌ථාවේ ඔහුව එහි රැඳවි කාන්තාවක විසින් නහවමිනුයි සිටියේ. "ඒ අම්මා ද?" අපිට ප්‍රශ්නයක්‌ පැන නැඟුණා. ඇගේ ස්‌වභාවය නම් බිළිඳාට වඩා හාත්පසින් ම වෙනස්‌.


 "ඒ ඉන්නේ අම්ම ද?" අසල සිටි පාලිකාවක ගෙන් මා ඇසුවේ නිකමට වගේ.


"නෑ... එයා ගේ අම්මා නෑ. දැන් බලාගන්නේ මෙයා තමයි." ඇගේ පිළිතුර අප සියලු දෙනා ම කුතුහලයට පත් කළා. "අම්මට මොකද වෙලා තියෙන්නේ?" තොරතුරු දැන ගැනීමට අප වට වුණා. ඇය කතාව මුල සිට ම පටන් ගත්තා.


"එයාව මෙහාට එව්වෙ උසාවියෙන්. පාරෙ හිටිය නිසා පොඩි මානසික ආබාධයකුත් තිබුණා. ඒත් ඒක ලොකු ප්‍රශ්නයක්‌ වුණේ නෑ.


දවසක්‌ අම්මට අසනීප වෙලා දරුවත් එක්‌ක ම #### ඉස්‌පිරිතාලෙ නැවැත්තුවා. එතකොට බබාට මාස තුනක්‌ විතර. කොහොම හරි අසනීපෙ වැඩි වෙලා අම්මාව  ##### ඉස්‌පිරිතාලෙට මාරු කරලා යවලා. ඒත් එක්‌ක දරුවව යවලා නෑ. ඒ වෙනුවට දරුවව ආපහු මෙහාට එව්වා. ඒත් අම්මට ඒක ගැන එච්චරට ම තේරුමක්‌ නෑ. අම්මා හිතුවෙ දරුවා නැති වෙලා කියලා. ඒ ගැන හිතලා මානසික ආබාධය තවත් වැඩි වුණා. දරුවා හොයන්න යන්නයි හැම වෙලාවෙ ම උත්සාහ කරලා තියෙන්නේ. අන්තිමට කවුරුත් ම දන්නේ නැතුව ඉස්‌පිරිතාලෙන් පැනලා ගිහින්. දැන් මාස ගාණක්‌ ගියා. ඒත් මොකුත් ම ආරංචියක්‌ නෑ."


ගොඩක්‌ දුක හිතෙන කතාවක්‌.. අහිමි වෙලා ගිය දරු සෙනෙහස විතරක්‌ ම හිතේ තියාගෙන, ඒ අහිංසක අම්මා තවමත් පාරක්‌ පාරක්‌ ගානේ පුංචි පුතාව හොයනවා ඇති. ඒත් ඒ මොනවත් ම දන්නේ නැති පුංචි පුතා රෝස කැකුළත් වගේ හිනා වෙනවා.


"බබාට දෙන්නේ පිටිකිරි ද?" අපේ යාළුවකුට ප්‍රශ්නයක්‌ මතු වෙලා.


"ඔව්. අම්මා ඉස්‌පිරිතාලෙන් පැනලා ගියාට පස්‌සේ පිටි කිරි විතරයි දුන්නේ"


Exclusive breast feeding  වෛද්‍යවරුන් ගේ ප්‍රියතම මාතෘකාවක්‌. .


ළදරුවාට මාස 6ක්‌ වන තුරු මවු කිරි පමණක්‌ ම ලබා දීම ඉන් අදහස්‌ වෙනවා. ඒත් මේ දරුවාට මාස ගණනක්‌ තිස්‌සේ මවු කිරි බිඳුවක්‌ හෝ ලැබී තිබුණේ නෑ. මවු කිරි සමග සසඳා බැලීමේ දී පිටි කිරිවල ළදරුවන්ට ඇති නුසුදුසුකම්වලින් මගේ සිත පිරිලා ගියා.

  • නිසි සමබර පෝෂ්‍ය පදාර්ථ සියල්ල ම එහි නො තිබීම,
  • ජීර්ණය හා අවශෝෂණය අපහසු වීම,
  • මව සහ දරුවා අතර මානසික බැඳීම අඩු වීම

ඒත් පෙර කළ පිනකට දෝ මේ පුංචි දරුවාට නම් කිසිදු බලපෑමක්‌ වූ බව නම් පෙනෙන්නට නැහැ. සුරතල් සිනාවක්‌ මුවට නඟාගෙන ඔහු වතුර බේසමත් එක්‌ක දඟ කරනවා.


දැනට නම් මෙහි සිටින පාලිකාවන් ගේ සහ රැඳවියන් ගේ රැකවරණය ඔහුට ලැබෙනවා. එහෙත් අනාගතයේ දී මොනවා වෙයි ද? 
රැඳවුම් මධ්‍යස්‌ථානයේ තාප්පයෙන් එහා තියන ලෝකය, මවු පිය රැකවරණයක්‌ නැති මේ පුංචි පුතාව කොහොම පිළිගනීවි ද? අපි ආපහු ආවේ හිතේ ලොකු බරක්‌ තියාගෙන .............!


(මේ දරුවා කොච්චර ලස්සනද කියනවා නම් එයාව වඩාගෙන ගත්තු ඡායා රූපයක් මගෙ යාළුවෙක් දුරකතන තිරයට දාගෙන හිටියා මෑතක් වන තුරුම)