Thursday, July 26, 2012

හඹා යාම 10

හඹා යාම 


01   02   03   04   05   06   07   08   09   


හිමිදිරි සීතලත් සමග මම අවදි වූ මම සෙමෙන් ඇ‍ඳෙන් බැස ජනේලය විවර කරමි. 
තවමත් හිරු ද මා මෙන්ම අඩ නින්දේය.ලා රෝස පැහැ ගත් අහසේ චලනය වන කළු පැහැති සේයා මෙන් කපුටන් එකා දෙන්නා අහසට එකතු වේ. 



අම්මා මිදුලට විසි කරන බත් ඇට ටික අවුලා ගන්නට වෙනදාට පොර බදින දෙමලිච්චන් රංචුවට තවමත් එළි වී නැති සේය.
ජනේලය අසල සේපාලිකා ගස ‍රැයෙහි පිබිදුන මල් ගිලිහෙන්නට නොදී තවමත් තුරුලු කරගෙන සිටියි.තවත් නම නොදන්නා මල් පැළයක් කහ පැහැති මල් පොට්‍ටුවක් විකසිත කරන්නට අර අඳිමින්ය. 


එක් දෙයක් පැහැදිලිය. සියල්ලන්ටම කලින් මා අද අවදි වී සිටිමි.


ඈ  මේ වන විට බසයක කොහේ හෝ මා නොදන්නා පළාතක් බලා ගමන් කරනවා විය යුතුය.සතිපතා සිදුවන මෙම ගමන ඇයට මහත් වෙහෙසක් ගෙන දෙනවාට සැක නැත. වසරකට වරක් අම්මාත් ඇගේ මිතුරියන් කිහිප දෙනෙකුත් සිදු කරන අටමස්ථාන වන්දනාව මට නම් බොහෝ විට විඩාවක් ගෙන දේ. "කට ඉස්සර කරගන්න එපා" යැයි ගමනට පෙර අම්මා පවසන නිසාවෙන් මා ඒ සෑම විටම නිහඬව සිටියද, ආදිත්‍යා විඳින වෙහෙස  සිහි වීමෙන් දැන් මා හට විශාල කම්පනයක් දැනේ. හැරත් ඇගේ ගමන පාරේ බසයෙනි. එය වඩා විඩාබරය.


මා හට ඈ ඇමතීමට අවශ්‍යය. එහෙත් මෙතාම් උදෑසන ඇමතීම පිළිබඳව ඈ කුමක් සිතාවිද?එක් අතකට කුමක් සිතූවද මට කම් නැත.මා සිතෙහි ඈ කෙරෙහි ආදරයක් ඇති වී හමාරය.දැන් ඉතින් කුමක් සිදු වුවද ආපසු හැරීමට නම් මා සූදානම් නැත.


ඇගේ දුරකතනය නාද වනු ඇසේ.ඇය පිළිතුරු දෙන්නේ ඇමතුම අවසන් වීමට ඔන්න මෙන්න ඇති විටය.


"දසුන් අයියෙ?" ඒ අහිංසක හඬ නිදිබරය.


"කොහෙද ඉන්නෙ?" මගේ කට හඬටද තවමත් නිදි මත ස්වභාවයක් මුසු වී ඇති බව මට දැනේ.


"කොහෙද ඉන්නෙ කියලා හොයන්නත් බෑ, මට ටිකක් නින්ද ගියා..... ඇයි මේ අද නිවාඩු දවසෙත් උදේ ඇහැරිලා ඔයා?"


දැන් ඉතින් උත්තරයක් දිය යුතුය.
"මේ ටිකේ වැඩ නංගි. තීසිස් එක බාර දෙන්න ඕනා ලබන සතියෙ"


"එම් එස් සී එකේ?"


"හ්ම් ඔව්. ඉතින් තව ගොඩක් වෙලායනවද ගෙදර යන්න?"


"අපෝ ඔව් තව පැය තව පැය 3ක් වත් යයි. හරි කම්මැලියි මෙහෙම යද්දි.... එපා වෙනවා"


"boy friend එක්ක ගියා නම් හරිනෙ කම්මැලිකම යන්නත් එක්ක" මම උගුරට  හොරා බෙහෙත් කෑමට උත්සාහ කරමි. 


ඊට පිළිතුරු දෙනුවස් ඈ මඳ වේලාවක් ගනියි.
"එහෙම කෙනෙක් නෑ අනේ.... නැති කෙනෙක් එක්ක කොහෙ යන්නද?" ඇගේ ස්වරයේ දුක්බර බවක් ‍රැඳී තිබෙනවාද?


"බොරු කියන්න එපා" ඈ පවසන්නේ බොරුවක් නොවෙන බව දැන දැනම මා පවසන්නේ තුන් සිතම ප්‍රීතියෙන් පිනා යන මොහොතකය.


"බොරු නෙමේ ඇත්ත...."


"කවදාවත් ඉඳලා නැද්ද?"


"කවදාවත් ඉඳලාත් නෑ.......... කවදාවත් ඉන්න එකකුත් නෑ........"


ගොලු වන්නේ මමය. ඉල්ලන් කෑමක් ඇස් පනාපිට ඔප්පු වී ඇත. ඈ මගේ සිතැඟි වටහාගෙනද? නො එසේ නම් ඒ ඈගේ අවංක හැඟීමද? එසේ නම් ඒ සඳහා හේතුව කුමක්ද? ඈගේ හඬෙහි ඇත්තේ හිතුවක්කාර බවක් හෝ දැඩි බවක් නොවේ. එය දුක්බර බවක්ද, මට නො වැටහේ......


"ඇයි නංගි එහෙම කියන්නෙ?" බිඳුන හඬ හැකි තරම් යටපත් කරගෙන මම අසමි.



"ඇයි එහෙම කියන්නෙ?" මගේ බිඳුනු ස්වරය හැකි තරම් යටපත් කරගෙන මම විමසමි.


"පස්සෙ දවසක කියන්නම්" සෑම දිනයකම වාගේ අදත් ඈ මගේ සිතෙහි කුතුහලයක්, සිතන්නට යමන්, නොනිදන්නට කාරණාවක් ඉතිරි කරමින් පවසයි. එය බලෙන් අසා දැනගැනීමට මා තුළ උනන්දුවක් පහළ නොවේ. වදනකින් හෝ ඇගේ සිත තැලීමට මට සිත් නොදේ. මා හටම මා පිළිබඳව ලජ්ජාවක් ඇති වන තරමටම මගේ සිතිවිලි රටාව වෙනස් වී ඇත. එය බොළඳ වීමක් ලෙස නම් මම පිළිනොගනිමි.


"හෙලෝ...."


"හෙලෝ නංගි?"


"මම බැලුවා මොකද එක පාරටම වුණේ කියලා... සද්ද නැතුව ගියෙ ඇයි?"


"මොනවා වෙන්නද , මේ ඉන්නෙ ගහක් ගලක් වාගෙ...."


ඇය සිනාසෙයි. ඒ සිනහව මා ඉදිරියේ මැවී නැති වී යයි.
"එහෙනම් මම පස්සෙ කතා කරන්නම්, ඔයා ගෙදර ගියාම. අර හේතුවත් කැමති නම් කියන්න එතකොට"


"හා බලමු"


නැවත නින්දට නොයන්නයැයි පැවසීමට මට සිතේ. ඈ අසල වඩි වී සිටින්නේ කුමණ අන්දමේ පුද්ගලයකුදැයි මම නොදනිමි. ඒ නිසා නොනිදා අවදියෙන් සිටිනවා නම් වඩා හොඳය.
"ඉතින් ආයෙ නිදාගන්න එපා කටත් ඇරගෙන. සිදුහත් කුමාරයා අභිනිෂ්ක්‍රමණය කළා වගේ ඔයාව දකින අයත් අභිනිෂ්ක්‍රමණය කරයි"


"ඉතින් හොඳයිනෙ"


"හොඳ තේරෙයි ඒ මිනිස්සුන්ගෙ දරු පවුල් පිටින් ඔයාව හොයාගෙන ආවොත් නඩත්තු ඉල්ලලා"


ඇය සිනා සේ..."නෑ නෑ එහෙම වෙන එකක් නෑ, මම දැන් නිදාගන්නෙ නෑ, පොතක් කියවන්න තියනවා" මගෙ මුවට සිනහවක් එක් වනු මට දැනේ.


"ඒ මොකද්ද?"


"කවි කඳුර ,සුනේත්‍රාගෙ"
මගේ සිත ප්‍රීතියෙන් ඉපිළේ. ඈද මා මෙන්ම පොත් කියවීමට කැමැත්තක් දක්වන සේය.....කවි කඳුර මා කියවූයේ මීට මාසයකට පමණ පෙරය.


"කවි කඳුර හොඳ පොතක්, කියවල බලන්නකො"


"අයියා කියෙවුවද ඒක?"


"හ්ම්ම් සුනේත්‍රාගෙ අනිත් පොත් වලට වඩා වෙනස්.... ඒත් හොඳයි.
ඔයා ගොඩක් පොත් කියවනවද?"


"ඔව් ගොඩාක් ආසයි, ඒක තමයි මම කරන්න කැමතිම දේ.."


ඈ පිළිබඳව මා සිතෙහි ඇති ඇල්ම වඩ වඩා තීව්‍ර වේ. මා විශ්වාස කරන පරිදි පොත් කියවීමට මෙන්ම ඒ සඳහා ඇලුම් කිරීමටද සුන්දර සිතක් තිබිය යුතුය. මා ආශා කරන වෙනත් කිසිවකට ඇය ඇලුම් නොකළත් මට කම් නැත. පොත් වලට ඇය ආශා කිරීම මා හට ප්‍රමාණවත්ය. එසේ නොවුණහොත් ජී බී සේනානායකගේ කලහය කෙටි කතාවේ මෙන් අවස්ථාවකට කෙදිනක හෝ මා හට මුහුණපාන්නට සිදු වීමේ හැකියාව ඉතා වැඩිය.


"මගෙ ළඟත් පොත් තියනවා... ඔයා කියවලා නැති ඒවා තියනවා නම් මම ඔයාට දෙන්නම්." සත්‍ය වශයෙන්ම විෂය කරුණු අඩංගු පොත් , සටහන් පොත් ආදිය දානයක් සේ බෙදා දීමට වුවත් මා හට එතරම් ගැටලුවක් නැත. එහෙත් ,මගේ සිංහල ඉංග්‍රීසි ප්‍රබන්ධ ,නව කතා ආදිය නම් පසන් හට හැර වෙනත් කිසිවෙකු හට මම ලේසියෙන් ලබා නොදෙමි. පසන්ට ඒවා දෙන්නේද, බැන වැදී නොහැකි නම්, ඔහුගේ නිවසට ගොස් බලෙන් හෝ ඒවා ලබා ගත හැකි නිසාය.


අම්මා කාමරය දෙසට එන හඬක් ඇසේ. මම ඇමතුම අවසන් කරමි.
"මම පස්සෙ ගන්නම් නංගි. ගෙදර ගියාම මට මැසේජ් එකක් එවන්න"


"හා අයියෙ බුදු සරණයි." ඇය සෙමෙන් පවසයි. මා ඉක්මනින් ඇමතුම අවසන් කිරීම පිළිබඳව ඈ හට දුක සිතුණාවත් ද?


එහෙත් ඒ පිළිබඳව සිතන්නට මා හට අවකාශ නැත. තේ එකත් සමග අම්මා මා අසලය.


"අම්මා වෙනදාට නිවාඩු දවස් වලට මේ තරම් වේලාසන තේ හදන්නෙ නෑනෙ"


"ඒ ඔයා නැගිටින්න පරක්කු වෙන නිසානෙ. මට ඇහුණා කතා කරන සද්දෙ. හීනෙන් ද කියලා හිතලත්, ඇවිදින සද්දෙත් ඇහුණම තේරුණා හීනෙන් කතා කළාට මේ වෙනකම් කවදාවත් හීනෙන් ඇවිදලා නෑනෙ කියලා....."


මම කිසිත් නොපවසමින් සිනා සෙමි. මා පැවසූ වචනද අම්මාට ඇසුණාද මම නොදනිමි.


"දැන් නින්ද යන්නෙම නෑ වගේ නේ... ? රෑ දෙගොඩහරිය පහු වෙනකම් ඇහැරගෙන. ඊළඟට උදේ බලද්දි ඉර පායන්නත් කලින් ආයෙ ඇහැරිලා"
වදින සියුම් තැන් වලට ප්‍රහාර එල්ල කිරීම අම්මා ළඟක සිට කාගෙන් උගෙන ගෙන ඇත්දැයි මම සිතමි.


"තීසිස් එකේ වැඩනෙ අම්මා" මම ඇගේ උපහාසය නොදැනුණා සේ පවසමි.


"ඒක තමයි මමත් කිවුවෙ" අම්මා සිනාසෙමින් ඉවතට යයි. 


මම පු‍ටුවේ වාඩි වී තේ කෝප්පයේ උණුසුම නිවමි.


"කෝල් එක ඉවර නම් උදේට කන්න පාන් රාත්තලක් ගේන්න පුළුවන්ද පුතා?"

අම්මාට කිසිවක් සඟවා පළක් නැති සේය. සියල්ල ඇයට පැවසීමටද සිතේ.
එහෙත් කුමක් පවසන්නද? ඈ කෙරෙහි මගේ සිතෙහි ඇති වී තිබෙන ආකාරයේ හැඟීමක් ඈ හට නොමැති නම් , අම්මාට මේ බව පැවසීමෙන් පළක් තිබේද.
හැරත්, කිසිම දිනයක පෙම්වතකු ඇසුරු නොකරන බවය ඈ මට පවසා සිටියේ. එ සඳහා හේතුවක් මා නොදන්නා වුවත් ඇය එසේ පවසන්නට කුමක් හෝ හේතුවක් තිබිය යුතුය. ඇය අතිශය රූමත් නොවූවත්, සිත් ඇදගන්නා යුවතියකි. එවන් වූ ඇයට වෛද්‍ය පීඨයේ සිටි අවුරුදු 5 ඇතුළත් පෙම්වතකු හමු නොවීම තරමක විමතිය ගෙන දෙන්නකි.


***********************************************


කාලය පිය සලයි.


"Where are you now?" මගේ කෙටි පණිවුඩයට තවමත් පිළිතුරක් ලැබුණේ නැත.
වරින් වර මා හට දුරකතණ තිරය දෙස බැලේ.
නිබන්ධනය බොහෝ දුරට අවසන් වෙමින් පවතියි.


කෙටි පණිවුඩයක හඬ ඇසේ.
"I'm home aiye"


"I was waiting for a reply. You didn't even bother to give a missed call.
Anyway, it doesn't matter now. How was the trip? Did you enjoy it? lol"


"Oh yes, a lot.
A trip to heaven from hell"


ඇගේ නිවහන ඇගේ ගම දැක ගැනීමට ආශාවක් මා හට උපදියි.
 ඊයේ රාත්‍රියේ ඈ පැවසූ පරිදි එය තවමත් නාගරීකරනයෙන් දූෂ්‍ය නොවූ ගමකි.




රෙදි හැට්ට අඳින අම්මලා අපේ ගමේ තවම ඉන්නවා. තවම කුඹුරු මී හරක්ගෙන් හානවා. සෙරෙප්පු දෙකක් නැතුව ඉස්කෝලෙ යන පොඩි ළමයි තවම ඉන්නවා. ඒ දුප්පත් කමම නෙමේ. මම දකින්නෙ අව්‍යාජ ගැමි කම කියලා. 
ඈ පැවසූයේ එසේය.
මම ඇයට ඇමතුමක් ගනිමි. "කොහොමද?"
"දැන්ද ආවෙ? මහන්සි නැද්ද?"


"මහන්සියි ටිකක්..... ඒත් නෑවාට පස්සෙ මහන්සිය ගියා"


"ආ මෙයා හොඳට නාලා කාලා තමයි නේද මට රිප්ල්ය් කළේ? මම බලාගෙන හිටියා වවුනියාව බස් එකේ වවුනියාවටම ගියාද කියලා"


"ෆෝන් එකේ ක්‍රෙඩිට් තිබුනෙ නෑ අනේ... අනුරාධපුරෙන් රිචාජ් කරගත්තෙ. ඉතින් කොහොමද ?"


"ඉතින් නංගි අලියා වෙලාවට ආවද?"


"මොකක්? මොන අලියාද?"


"ඔයාලගෙ පැත්තෙ මිනිස්සු යන්නෙ අලියා පිටේ නේ? බස් නෑනෙ"


"අනේ මේ...!"


"එහෙනම්, ලොරි බාගෙද ?"


"නෑ බර බාගෙ"

Saturday, July 21, 2012

මහරජ ගැමුණු


පුරන් වී ගිය සිංහල සිනමා කෙතෙහි ඉඳහිට මතු වූ, සරුසාර වී කරල් කිහිපයක් ලෙසින් බිහිවූ අතලොස්සක් සිනමාපට, තවත් දැවැන්ත නිර්මාණයක් පිළිගන්නට පෙර මග බලමින් තිබිණි. 
සිංහල නාට්‍ය  ටෙලිනාට්‍ය කලාවේ, සිනමාවේ දැවැන්තයෙකු වූ ජයන්ත චන්ද්‍රසිරි , හෙළ ඉතිහාසයේ දැවැන්තයෙකු වූ ගැමුණු රජු හෙළ සිනමාවට කැඳවන්නට සූදානම් විය. 
තුමිඳු දොඩම්තැන්න ගැමුණු මහරජ ලෙස කිරුලු පළඳිද්දී, ජැක්සන් ඇන්තනී එළාර වනු වස් හිස මුඩු කළේය. 






එහෙත්, 
එය එතෙකින් නැවතින. 


ජයන්ත චන්ද්‍රසිරිගේ වචන වලින්ම පවසතොත් " මහරජ ගැමුණු " චිත්‍රපටය තවමත් ඔහු පමණක් දු‍ටු චිත්‍රපටයක් වශයෙන් ඔහුගේ මතක ගබඩාවේ අති විශාල පුළුල් තිරයේ පමණක් ධාවනය වෙමින් පවතීයි. 


එහෙත්,නැවතුන චිත්‍රපටයට ඔහු අතින් සම්පූර්ණයෙන් අසාධාරනයක් සිදූ නොවූ බව මා හට පසුගිය සහ්ටියේ පසක් විය. ඒ, ගුණසේන පොත්හල තුළදී මා හට අහම්බෙන් හමු වූ "මහරජ ගැමුණු" නිසාය.




සාමාන්‍යයෙන් මම ඕනෑම පොතක් එක හුස්මට කියවා අවසන් කරමි.ආහාර ගන්නා අවස්ථා, බස් රථයේ ගමන් කිරීම ඒ සඳහා මා හට බාධාවක් වන්නේ නැත. එහෙත් , "මහරජ ගැමුණු" අවසන් කිරීමට මා හට දින 5ක කාලයක් ගත විය. එය විශාල පොතක් නොවේ. මුල් පි‍ටු 2,3 කියවන විටම මට හැඟුණ හැඟීමක් නිසාය. එනම්, මෙය හදිසියේ කියවා අවසන් කළ යුතු පොතක් නොව නිදහසේ හිඳගෙන චිත්ත රූපත් සමග, ඒ චරිත හා ජීවත් වෙමින් කියවිය යුතු නවකතාවක් බවයි.


ජයන්ත චන්ද්‍රසිරි යනු ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂ වරයකු නිසාදෝ , මුළු නවකතාවම තිරපිටපතක් තරමටම චිත්ත රූප මවයි.


"පිරිත් ඇහැන නො ඇසෙන දුරක දුරක සිට විහාර සංකීර්ණය වෙතට ගමන් ගන්නා ජවාධික සුදු අසුන් සිවු දෙනෙකු යෙදූ අශ්ව රථයත් ඒ පසුපස හැල්මේ යන ආරක්ෂකයන් පිරිසත්, එය පසුපසින් නොයෙකුත් බඩු භාණ්ඩ ‍රැගෙන ගමන් ගන්නා අනෙක් අශ්ව රථයත්, දුරට විහිදුණු මාර්ගයේ තැනින් තැන දූලි වලා නංවයි.
රන්මිණි කිකිණි දැලෙන් සරසන ලද පළමු අශ්ව රථය තුළ වන, තරමක් උස පර්යංකයක සිටින්නී තරුණ අභිශවෙර (විහාරමහා දේවියය්) කුමරියයි."


ඒ නවකතාව ආරම්භයේම වන විස්තරයක් පමණි. ග්‍රන්ථය පුරාවටම මෙවන් වූ අවස්ථා බොහොමයකි.


"ඔවුහු කිසිවිටෙක කඩුවක් තබා තමන් භාවිත කළ කෝ‍ටු කැබැල්ලක්වත් ඔහේ බිම දමා නොගියහ. 
එහෙත් දැන් එවැන්නක් දක්නට ලැබෙයි. ඇය දැන් සෙවිල්ලෙන් අංගංපිටියේ එහාට යයි, මෙහාට යයි, අනතුරුව එය එහාට මෙහාට දිව යාමක් බවට පත් වෙයි. එහෙත් කිසිවක් අමුතුවෙන් වටහා ගැනීමට ඇය සමත් නොවෙයි. 
නැත, ඈ යමක් දු‍ටුවාය. සීතලට පෑගුණු වැලි පදාසය තෙත් වී ඇත්තේ රුධිරයෙන් බව වටහා ගත්තාය. වැලි අතර සැඟවී තිබෙන හී දණ්ඩක් දේකක්......
රෝහිණි මහ හඬින් මොර දුන්නාය.


ළදරු නන්දි මිත්‍ර ගැස්සී අවදි විය. ඔහු නිදි කරවන්නට ඉතාම අසීරු දරුවෙකි. එසේම නින්දට පත් කළ විට අවදි කරවන්නටද අසීරු දරුවෙකි."


මෙම නවකතාව පුරාවටම කතුවරයා සිංහල බෞද්ධ සභ්‍යත්වය වටා ගෙතුණු ගැමුණු කුමරුගේ/රජුගේ මානුශීය භාවය සහ, දැහැමි බව පෙන්නුම් කරන්නට උත්සාහ කරයි. එහෙත් ඔහු ඒ දැහැමි බව නිසා, ස්වකීය රටට , දැයට සිදුවෙමින් තිබෙන හානිය නොදු‍ටුවා සේ සිටින්නෙකු නම් නොවේ.


කාවන්තිස්ස රජ්ජුරුවෝ අසුන් සිවු දෙනෙකු ‍රැහැන් පටවලින් ඇද නවත්වාගන්නා ආකාරයෙන් තම කෝපාවේගය මැඬ පවත්වාගත්හ.
"මොකද?"
"පිහිටි රටට වෙළඳාමේ ගිය අපේ වැසියන් සියල්ලන්ම ඝාතනය කරලා !" ගාමිණි අභය, රජුට සියලු ආචාර දක්වා අනතුරුව කීවේය,
"රාජ සභාව ඒ ගැන දන්නවා. මේ සාකච්ඡාව ඒ පිළිබඳවමයි...." කාවන්තිස්ස රජු සන්සුන්ව කීවේය. එහෙත් ඔහු ඊළඟ ටික කීවේ සන්සුන්ව නොවේ.
"....ඔබට මා යළිත් රජ කුමරකුගේ රාජ්‍යතාන්ත්‍රික භාවය ඉගැන්විය යුතුද? මගේ ප්‍රශ්නය එයයි"
"රටේ අහිංසක මිනිසුන් මැස්සන්, මදුරුවන් සේ ඝාතනය කෙරෙන කොට, රාජ්‍යය බිහිසුණු තර්ජනයකට ලක් වී තිබෙනකොට අප රාජ්‍ය තාන්ත්‍රික සිරිත් විරිත් පමණක් ආරක්ෂා කිරීමේ ඵලය කුමක්ද?"
"කට" කාවන්තිස්ස රජතුමා ගුගුලේය.


දු‍ටුගැමුණු මහ රජතුමාගේ බල පරාක්‍රමය විදහා පෙන්වනවාටත් වඩා, සාමාන්‍ය මනුෂ්‍යකු ලෙස ඔහුගේ ඇති උසස් ගති ගුණ වර්ණවත් කිරීමට කතුවරයා උත්සාහ දරා ඇත. 
මෑණියන් කෙරෙහි ඇති මහා ආදරය ,ගැමුණු - තිස්ස දෙසොයුරන් අතර ඇති සොයුරු දම, භික්ෂූන් වහන්සේලා විෂයෙහි ඔහු තුළ ඇති ගෞරවය මෙන්ම කතී (රන් මැණිකා) සමග ඇති ප්‍රේමයද, මනාව මෙයින් ඉස්මතු වේ. 
ඒ සඳහා උදහරණ එකින් එක ගෙන පෙන්වනවාට වඩා ඔබ විසින්ම මෙය කියවා වටහාගැනීම සුදුසුය.


පොත කියවා අවසන් කල පසු මට සිතුන බොහෝ දේ විය. 
සිය ප්‍රථම නවකතාවෙදීම ජයන්ත චන්ද්‍රසිරි අති සාර්ථක වී ඇත.
මෙවන් වූ උසස් නිර්මාණයක් චිත්‍රපටයක් ලෙස බිහි නොවූයේ හෙළ සිනමාවෙහි ආවාසනාවටය.
එය නිර්මාණය වූවා නම් එය එය එතෙක් මෙතෙක් සිංහල සිනමාවට දායාද වූ අති දැවැන්තම නිර්මාණය වනවාට සැක නැත.
එහෙත්, එය කිසියම් දිනයක චිත්‍රපටයට නගන්නේ නම්,එය අනිවාර්යයෙන් විශාල වියදමක් දරා නිශ්පාදනය කළ යුතුය.බෙන්හර්, ඇපොකැලිප්ටෝ,බ්‍රේව්හාට් වැනි නිර්මාණ සේම විශාල නළු නිලියන් පිරිසකගේ මෙන්ම, අලි ඇතුන් සහ අශ්වයන්ද අවශ්‍ය තරම් සොයාගත යුතුය. 
එවැන්නක් සිදු නොවන්නේ නම්, "මහ රජ ගැමුණු" නවකතාවට පමණක් සීමා වේවා.....


තරමක් වේදනා බර ස්වභාවයකට ආසන්නව මුත් මෙවර මෛත්‍රී පූර්වක මන්දස්මිතයක් පැවතියේ එළාර මුහුණේය. ‍තෝමරය ගලවා දමන්නැයි ඔහු ඉතා පැහැදිලි හඬකින් ඉල්ලා සිටියේය.
එහෙත් එසේ කළ සැනින් ඔහු මරණයට පත් වේ යැයි සිතූ ගාමිණි ඒ සඳහා පැකිලුණේය.

එළාර වෙතට නැඹුරු වීමට මොහොතකට පෙර අවට සිසාරා බැලූ ගාමුණි රජු එක හස්ත සංඣාවකින්ම මහජන ඝෝෂාවන් නතර කළේය.
"....එක අණයි..." එළාර කීවේය. 
ගාමිණි අභයට එය පැහැදිලිව ඇසුණේ නැත. එළාර රජු වෙතට නැඹුරු වූ ගාමිණි අභය ඔහු පරෙස්සමින් වත්තම් කොට තම උකුලට ගත්තේය.
"....එක අණයි, සියල්ල නිහඬයි"එළාර සෙමින් එහෙත් පැහැදිලිව කීවේය. ගාමිණි අභය මුහුණට මඳ සිනාවක් නැගිනි.


".... ඔබ හරිම ලස්සන මනුෂ්‍යයෙක්"

ගාමිණි අභය මදක් විළියෙන් රත් වුණු මුහුණින්ද, හොඳටම තෙත් වූ දෙනෙතින්ද එළාර දෙස බලා සිටියේය.



Thursday, July 19, 2012

වංචාකාරයෙකුට නිදැල්ලේ යන්නට ඉඩ දුනිමි.

       වේලාව ප.ව. 1 ට පමණ වන්නට ඇත. මීගමුව රෝහල අසල නැවැත්වූ බසයට ගොඩ වූවන් අතර මගීන් කිහිප දෙනෙක්, වතුර බෝතල් වෙළෙන්දෙක් සහ ෆයිල් කවරයක් අතින් ගත් පුද්ගලයෙක් වූහ. සුපුරුදු ශබ්දයෙන් වතුර වෙලෙන්දා බස් රථයේ පි‍ටුපසට යමින් වතුර විකුණන්නට පටන් ගත්තේය. ෆයිල් කවරය අතින් ගත් පුද්ගලයා බසයේ ඉදිරියට වී කුමක්දෝ පවසන්නට විය. වතුර වෙළෙන්දාගේ හඬත්, බස් රථයේ රේඩියෝවේ හඬත් නිසා ඔහුගේ හඬ වියැකී ගියේ අපහසුවෙන් වදන් කිහිපයක් අල්ලා ගැනීමට පමණක් මා හට ඉඩ සලසමිණි.
ඒ අනුව ඔහු පවසන්නේ සිය පාදයේ ආබාධයක් පිළිබඳව බව වටහා ගැනීමට මා හට හැකි විය.
එහෙත් ඔහු ඒ විස්තරයත් සමග පෙන්වූ x ray කාඩ්පතෙහි සඳහන් වූ රූපය මා මෙතෙක් දැක ඇති සියලුම "කකුල්" වලට වඩා වෙනස්ය. (එවන් හැඩයක් ගන්නා කකුලක් හෝ කිසිදු අවයවයක් මිනිස් සිරුරේ පවතින බව මා මේ වනතෙක්ම නොදනිමි. )


විස්තරයෙන් අනතුරුව ඔහු බස් රථයේ සිටියවුන්ගෙන් මුදල් එකතු කරන්නට පටන් ගත්තේය. මා අසලට පැමිණි ඔහු හට මුදල් ලබා දෙනවා වෙනුවට මා කළේ ඔහු සතු වූ ෆයිල් කවරය ඉල්ලා සිටීමය.  අකමැත්තෙන් නමුත් ෆයිල් කවරයේ වූ කාඩ්පත් දෙකක් පමණක් ඔහු මා වෙත ලබා දුන්නේය.
"x ray එකත් දෙන්නකො" මම එයද ඉල්ලා ගතිමි.
සැබැවින්ම මා සිත තුළ පැවතියේ ඔහුව අභියෝගයට ලක් කිරීමේ උවමනාවක් නොව, ඔහු පවසන දෑ සත්‍ය නම් සෑහීමකට පත් විය හැකි තරමේ මුදලක් ඔහු වෙතට ලබා දීමය. එහෙත් ඔහු පවසන්නේ බොරුවක් නම් තඹ සතයක් වත් ලබා නොදෙන බවද මම ඒ වන විටද තීරණය කරගෙන සිටියෙමි.


මම " x ray " කාඩ් පත හොඳින් විමසා බැලීමි. සැබැවින්ම එය මිනිස් සිරුරේ කුමණ අංගයක්වත් පෙන්නුම් කරන්නක් නොවේ. එමෙන්ම එක්ස් කිරණ පිටපතක් ලබා ගැනීමේදී රෝගියාට අදාල අංකය එහිම සටහන් කරනු ලබයි.නමුත් මෙහි එවැන්නක් සටහන් කර තිබුණේ නෑත. තිබුණේ මාකර් පෑනකින් සටහන් කර ඇති අංකයක් පමණි.එසේ සටහන් කරන රෝහල් පවතිනවාද යන්න මම නොදනිමි.
මගේ නොදන්නා කමට එය එසේ තිබේවා. එහෙත් එම එක්ස් කිරණ පිටපතෙහි අඩංගු වූයේ මිනිස් සිරුරේ අංගයක් නොවන බව නම් මම හොඳාකාරවම දනිමි. බොහෝ විට එය වැරදුන පිටපතක් වන්නට බොහෝ දුරට ඉඩ තිබේ.


ඉන් අනතුරුවය මා රෝග නිර්න කාඩ්පත බැලුවේ. එහි අඩංගු රෝග නිර්නය දු‍ටු මට සිනහ පහල වූයේ නිතැතින්මය. එය දියේ ගිලීම නිසා බියට පත්ව කතා කිරීම ප්‍රතික්ෂේප කළ රෝගියෙකුට නිකුත් කළ කාඩ්පතකි.දින තුනක් වැනි කාලයක් තුළ ඔහු වාට්‍ටුවෙන් යවා තිබුණි. සතියකට පමණක් එක්තරා ඖෂධයක් ලබා දී තිබුණි. එහි දිනය ලෙස සටහන් වූ 2010 යම් කිසිවෙකු විසින් පරෙස්සමෙන්, එහෙත් ලැජ්ජාවකින් තොරවම 2011 ලෙස වෙනස් කර තිබුණි.


මගේ අවධානය ඊළඟට යොමු වූයේ ඔහු විසින් මවෙත ලබා දුන් අනෙක් කාඩ්පත කෙරෙහිය. එය රජයේ රෝහල් වල සායන වලින් බෙහෙත් ලබාගැනීමට නිකුත් කර ඇති කාඩ්පතක් විය. එහි මුලින්ම සටහන් වූ දින දෙකෙහි එක්තරා ඖෂධයක් සතියක කාලයකට බැගින් ලබා දී තිබුණි. එය ආමාශයික ප්‍රදාහයට (ගැස්ට්‍රයිටිස්) ලබා දෙන ඖෂධයකි.
එහි ඖෂධ ලබාදුන් දින සටහන්ව තිබුණේ මෙලෙසිනි.
09 /06 /2011
16 /06 /2011
17 /20 /2011
04 /18 /2011
ඒ කාඩ්පතට අනුව 18 වන මාසයක් සහ 20 වන මාසයක් ඇත. :-)



එහි මුල් දින දෙක සටහන් වී තිබුණේ බොහෝ වෛද්‍යවරුන්ට හිමි අවලස්සන අපැහැදිලි අකුරෙනි. අනෙක් දින දෙක අකුරු අපිළිවෙල කිරීමට ආයාසයෙන් දැරූ උත්සාහයකින් ලියවී තිබිණි.
එමෙන්ම මෙහි මුල් දින දෙකෙහි බෙහෙත් ලබා දී තිබුණේ සති 1ක කාල සීමාවකටය. එය 1/52 ලෙසින් සුපුරුදු ලෙස සටහන් කර තිබිණි. එහෙත් ඊලඟ දින දෙකෙහි ඖෂධ ලබා දී තිබූයේ 1/82 ටය. ඒ වෛද්‍යවරයාගේ අකුරු අනුකරණය කරන්නට යාමෙන් 5 සහ 8 පැටලුණු අවස්ථාවකි.



ඒවාත් අතෙහි තබාගෙන කුමක් කරම්දෝයි සිතමින් පසු වන විට ඔහු නැවතත් මා වෙත පැමිණියේය.එහිදී ඇති වූ දෙබස මෙබඳු විය


"ඔයාගෙ අසනීපෙ මොකද්ද?"


"මාව ගහෙන් වැටිලා කකුල කැඩුණා.
ඒ නිසා වැඩ කරන්න බෑ,ඒ බේත් වලට ලොකු වියදමක් යනව..."


"ඒත් මේ කාඩ් එකේ එහෙම එකක් නෑනෙ. ඇයි බොරු කියන්නෙ? මේක වතුරෙ ගිලෙන්න ගිය කෙනෙක්ගෙ එකක්නෙ"


"නෑ නෑ... ඕක තමයි ඉස්පිරිතාලෙන් දුන්නෙ"


"බොරු කියන්න එපා"


"මම මොනාටද බොරු කියන්නෙ? මට ඕවා තමයි ඉස්පිරිතාලෙන් දුන්න්නෙ"


බසයෙහි වූ අනෙක් මගීන් ද මා දෙස බලනු මට දිස් විය. එසේ හෙයින් එක්ස් කිරණ කාඩ්පත පිළිබඳව හෝ බොරු දින සටහන් කර ඇති සායන කාඩ් පත පිළිබඳව ඔහුගෙන් මම අසන්නට උත්සාහ නොකළෙමි. ඇසුවත් ඔහු දිගින් දිගටම බොරු පවසන බවද මම දැන සිටියෙමි. එසේ හෙයින් අවසාන වතාවටත් "බොරු නොකියා මේ ටික අරන් යන්න" යයි පැවසූ මම ඔහු අත හැර දැමීමට තීරණය කළෙමි.


එහෙත් නැවත් වතාවක් මා හට කතා කිරීමට සිත් වූයේ ඔහුගේ අතෙහි ඇති ෆයිල් කවරයේ වූ අනෙක දු‍ටු විටයි. එය ඇඳ ඉහපත් වාර්තාවකි. එය කිසිසේත්ම රෝගියා අතට පත් කරන්නේ නැත.


"මේක කොහෙන්ද ඔයාට?"


"මට වාට්‍ටුවෙන් දුන්නෙ"


"බොරු කියන්න එපා ,මේක ලෙඩ්ඩුන්ට ගෙදර ගෙනියන්න දෙන්නෙ නෑ"


"නෑ නෑ මට දුන්නා"


"මේක ඉස්පිරිතාලෙ රෙකෝඩ් රූම් දානවා. එහෙම ලෙඩ්ඩුන්ට දෙන්නෙ නෑ"


මගේ මතය නම් ඔහු එය වාට්‍ටුවකින් සොරකම් කොට ඇති බවයි.


මගෙන් වෙනත් වචනයකට ඉඩ නොලද ඔහු බසයෙන් බැස ගියේය. මමද මුවින් නොබැන බලා සිටියෙමි. පොලිසියට හෝ දන්වා ඔහුගේ දරු පවුලක් අනාත කිරීමට මට අවශ්‍යතාවයක් නැත.


එහෙත් ඒ මිනිසාට මුදල් ලබා දුන්නේද කෝටිපතියන් නොවේ. මනුස්සකම හඳුනන තවත් අහිංසක මිනිසුන්මය. එවන් හදවත් ඇත්තන් මුලා කර ලබාගන්නා මෙම මුදල් ඔහුට වගතුවක් ගෙනදෙන්නේ කෙසේදැයි මටනම් නොතේරේ.




මෙම සිදුවීමෙහි සත්‍යය මම වදනිකිනුදු එහා මෙහා නොකළෙමි. මේ සැබැවින්ම ඊයේ දිනයේ මා මුහුණ දුන් සිදු වීමකි. මෙවන් වූ මිනිසුන් දහස් ගණන් අප අතරම වාසය කරති. ඔවුන් විෂයෙහි ඔබ ක්‍රියා කරන්නේ කෙසේද යන්න ඔබම තීරණය කරන්න.


(තවත් පුංචි සටහනක් තැබීමට මට සිත් වේ. ඒ මේ කතාව ඇසූ මගේ මිතුරෙකු පැවසූවකි. "ඔයා මේක අනිත් අයට කියලා සල්ලි දෙන්න එපා කියන්න එපා. ඒකෙන් වෙන්නෙ ඔයාට පවක්. මිනිස්සු සල්ලි දෙන්නෙ තමන්ගෙ කැමැත්තෙන්. ඒක දානයක්. ඒක වලක්වලා ඔයා කරන්නෙ පවක්. ඒ ඔහුගේ මතයයි. මම නම් එතරම් හොඳින් බණ දහම් නොදනිමි.


මේ බව ඇසූ තවත් මිතුරෙකු පැවසූයේ මෙවැන්නකි. "ඔහොම බස් වල ඕනා තරම් වෙනවා. කුඩු කාරයෙක් වත් නම් ඒ මිනිහා. ඔයාට පිහියකින් හරි ඇනලා දිවුවා නම් ඔහොම කට ගහගෙන යන්න ගිහින්......" සැබැවින්ම ඒ පිළිබඳව නම් මා ඒ වෙලෙහි නොසිතුවෙමි.)




Wednesday, July 18, 2012

මංගල ඡායාරූපය


   ටික් ටික් යන අනුකරණයෙන් ඔරලෝසු ක‍ටු නගන හඬ අයේෂා ට ඇසෙන්නට පටන් ගෙන බොහෝ වේලාවක් ගත වී ගොසිනි. එහෙත් නින්ද ඇය කරා මේ වන විටත් පැමිණ නැත. සුසර ගේ මුවින් සිහින් ගෙරවිල්ලක් ඇසේ. ඔහු දෙස බැලූ ඇයගේ මුවගටද සුසුමක්  නැගෙන්නේ නිතැතිනි. පාරේ දැල්වෙන විදුලි බුබුලෙන් නික්මෙන ආලෝකය ජනේල තිරයෙහි හිඩැස් අතරින් කාමරයට පෙරී එයි. එම ආලෝකයෙන්  සුසරගේ මුහුණෙහි මැවී ඇති සෙවනැලි ඇගේ සිතට ගෙන එන්නේ අමතක කරන්නට කැමති ඒ අතීතයයි.


ඒ මීට වසර දෙකකට පමණ පෙර දිනයකි. හදිසියේම ඔවුනට ඔවුනගේ දෑස් හමු විය. සිය නව සේවාස්ථානයේ සියයක් දෙනා අතුරින් හමුවූ සුසර ගේ රුව ඈ සෙවූ රුව විය. ඇගේ රුව ඔහු සෙවූ රුව විය.

"ඔයා හරි වාසනාවන්තයි, සුසර හරි හොඳයි... අනිත් එක හෙන හැන්ඩියානෙ"
ලක්මාලිගේ වදන් වල මෙන්ම දෙනෙතෙහිද ගැබ් වූ ඊර්ෂ්‍යාව අයේෂා නොදු‍ටුවා නොවේ. සුසරගේ කඩවසම් රුව තමා සතු කර ගැනීමට ලක්මාලි වසරක පමණ සිටම මාන බලමින් සිටි බව කාර්යාලය තුළ ඈ පැමිනෙණ විටත් පැතිරී තිබූ ඕපාදූප වලින් එකක් විය.

සිතෙහි පිළිසිඳගත් සෙනෙහසේ බීජය අස්වැන්නක් බවට පත් වීමට වැඩි කාලයක් ගත වූයේ නැත.
"අයේෂාට වඩා සුසර ලස්සනයි" ඇතැමෙක් තැනින් තැන දැක්වූ අදහස් සවන් වැකුණු අයේෂාගේ සිත ආඩම්බරයෙන් බර වූවා පමණය. ඊර්ෂ්‍යාවක සේයාවක් හෝ ඇගේ සිතෙහි ‍රැඳී නොතිබුණි.

එහෙත් සියල්ල කණපිට හැරී තිබුණේ නිමේෂයකිනි. ඒ අවාසනාවන්ත උදෑසන සිහිවන විටද ඇගේ සිත තවමත්  බියෙන් හැකිලී යයි. හිරු ඇහැරී හෝරා කිහිපයක් වුවද , ඒ වනතුරුත් හිරු එළිය බිඳකුදු පොළොව සිපගෙන තිබුණේ නැත.මූසල රිදී පැහැයක් ගත් වලාකුළු අහස අරා පැතිරී තිබුණේ දැන් දැන් එන මහා වැස්සක ලකුණු කියා පාමිණි. වියලි කොළ සර සර හඬින් කොන්ක්‍රීට් පොළොව මත ඇදී ගියේය.
ඇගේ නොඉවසිලිමත් දෑස කාර්යාලයේ පළමු මහලේ සිට පාර වෙත නිරතුරුව දිව ගියේ සුසරගේ නුපුරුදු ප්‍රමාදයට හේතු දැකගන්නා අටියෙනි. හොරාවකටත් වඩා ප්‍රමාද විය. සුසරගේ දුරකතනයද ක්‍රියා විරහිත වී තිබිණි.

"සුසර ඇක්සිඩන්ට් වෙලා" කවුදෝ පැමිණ දුන් පණිවුඩය ඈට ඇසුණේ සිහිනයෙන් මෙනි.

ඔහුගේ පාදයක් කිහිප පළකින්ම බිඳී ගොස් තිබුණි. මුහුණේ දකුණු පැත්තම වසා දමා තිබූ වෙළුම් පටි දු‍ටු ඇය සිහිසුන් වූවාය. සැනෙකින් ක්‍රියාත්මක වූ රෝහල් කාර්යමණ්ඩලය නිසා අභ්‍යන්තර ලේ ගැලීමකින් අවසන් වන්නට තිබූ සුසරගේ ජීවිතය බේරී තිබිණි.

මාස කිහිපයකට පසුව සුසර රෝහලෙන් පිටතට පැමිණියේ කිහිලි කරුවක ආධාරයෙනි. ඉන් මිදීමට ඔහුට බොහෝ කලක් ගත විය. එහෙත් අනතුරෙන් විකෘති වූ මුහුණේ දකුණු පස කිසි දිනෙක යථා තත්වයට පත් වූයේ නැත.

පෙරදා ඔහුගේ කඩවසම් බව දෙස හැරි හැරී බැලූ අය දැන් බලන්නේ ඔහුගේ විකෘති මුහුණ දෙස බව අයේෂා  මෙන්ම සුසර ද හොඳින් දැන සිටියේය.
"කවුරු කොහොම හිතුවත් ඔයා මගෙ. අපි බඳිමු" අයේෂා ගේ තීරණය බොහෝ දෙනෙකුගේ විමතියට හේතු විය.ඈ ඉදිරියේ කිසි දිනෙක කඳුලක් නොහැලූ ඔහු එදින කුඩා දරුවකු මෙන් ඉකිබිඳ හඬ වැලපුනේය.

"පව් අනේ සුසර.... ඉස්සර කොච්චර හැන්ඩ්සම් ද. ඒත් දැන් බලන්නකො මූණෙ පැත්තක් ගන්න දෙයක් නෑනෙ." ලක්මාලි කිසිවෙකු සමග පැවසූයේ තමටත් ඇසෙන්නට බව වටහාගන්නට තරම් අයේෂා ඒ වන විට මුහුකුරා ගොස් සිටියාය. එහෙත් සුසර කෙරෙහි වූ තමාගේ ආදරය අන් සියල්ලටම වඩා බලවත් බව තරයේම ඇදහූ ඇය සිතෙහි උපදින දුක් බර සිතිවිලි වලට සිත තුළම මියැදෙන්නට ඉඩ දුන්නාය.

සියල්ල හොඳින් සිදු වුවද සුසර තමා පිළිබඳව දුක් වන බව ඈ හට වැටහුනේ වරක් දෙවරක් නොවේ.
"මගෙ පෙනුම ගැන ඔයාට ලැජ්ජද?" ඔහු ඍජුවම එසේ අසනවා නම් ඒ පිළිබඳව ප්‍රතික්ෂේප කොට ඔහු සැනසීමට ඈ හට පුළුවන් කම තිබුණි. එහෙත් ඒ පිළිබඳව ඔහු කිසි දිනෙක ඇගෙන් නෑසුවේය.

නින්දෙන්ම සුසර අනෙක් ඇළයට හැරේ. මුවින් නික්මුණ සිහින් ගෙරවීම මඳකට නැවතේ. ඔහුගේ මුහුණේ ස්වභාවය ඇයට මැවි මැවී දිස් වේ. ඇද වී ගිය මුවත් , කිසි දින මැකිය නොහැකි තරමේ තුවාල කැළැල්ද මුහුණේ දකුණු පසට ගෙන දී තිබුණේ ඒ දකින කිසිවෙකුට ඔහුගේ පෙර වූ ස්වභාවය පිළිබඳව සිතා ගන්නටවත් නොහැකි ලෙසකිනි. සම් බද්ධයකින් පසුව ද ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයාගේ උත්සාහය එතරම් සාර්ථක නොවූ බව කියා පෑවේය. 

"හෙට ලක්මාලිගෙ වෙඩින් එකට නොගිහින් ඉන්න තියනවා නම් හොඳයි"ඇගේ සිත ඇයටම කොඳුරයි. 

එහෙත් "To Mr & Mrs Susara Arukgoda" යනුවෙන් සඳහන් කොට තිබූ විවාහ ඇරයුම් පත ලක්මාලි විසින්ම තමා අතට දුන්නා නොවේද. තම යෝජිත සැමියා පිළිබඳව ලක්මාලිගේ පුරසාරම් තවමත් ඈ හට ඇසෙනවා බඳුය. 

"එයා හරි හැන්ඩ්සම්. අමුතුම සුදු පාටක් තියෙන්නෙ. අපේ අම්මා කියනවා නලුවෙක් වගේ කියලා...."

"එයා එච්චර ලස්සන නම් අපරාදෙ ඔයා වගේ කෙනෙක් බඳින්න යන්නෙ" ලක්මාලිගේ ක්‍රියාකලාපය හොඳින්ම දැන සිටි සුසරගේ මිතුරු අනූෂ පැවසුවේ ලක්මාලි නිහඬ කරවීමේ උවමනාව නිසාමය.

සියල්ල මතක් වන විට සිහින් ඉකිගැසීමකින් උගුර හිර වනවා බඳු හැඟීමක් අයේෂා ට දැනේ.ඈ ඇ‍ඳෙන් බැස ගොස් විදුලි බුබුල දල්වයි. කණ්ණාඩි මේසය මත වූ වතුරු වීදුරුවත් ගෙන ඈසාලයට පිය මනින්නේ නින්ද තමා අසලකටවත් නො එන බව දන්නා නිසාය. 

සාලයේ කෙළවරක තබා ඇති ඔවුන් දෙදෙනාගේ විවාහ ඡායාරූපය අයේෂාගේ නෙත ගැටේ. 
ජීවිතයේ පළමුවරට එය දු‍ටුවා සේ ඈ එදෙස බලා සිටියි. 
සුසරගේ මූණෙ දකුණු පැත්තත් වම් පැත්ත වගේම වුණා නම්... ඈට සිතේ. 

ඒ සිතිවිල්ලත් සමගම ඈ සිය අතින් ඔහුගේ ඡායා රූපයේ දකුණු පස වසා ඉතිරි අර්ධය දෙස බලා සිටින්නට වේ. 

තමාට පි‍ටුපසින් ඇසෙන සුසුම් හඬකින් ඇය පියවි සිහියට එළඹේ. 

සුසාර ඈට පි‍ටුපසින් සිටගෙන ඈ දෙස බලා සිටියි. 

ඔහුගේ දෙනෙතේ කඳුලකි. 

ඈ වහා නැගිට සිටියි. 

එහෙත් සුසර වඩා ඉක්මන්ය. 

ඔහු හැරී ආපසු නිදන කාමරයට ගමන් කරයි. 

කිසිවක් සිතා ගත නොහැකි අයේෂා එතැනම ගල් වී බලා සිටියි. 

නිදන කාමරය දෙසින් වීදුරුවක් බි‍ඳෙන හඬක් ඇසේ................

Friday, July 13, 2012

හඹා යාම 09

හඹා යාම කලින් කොටස්

01    02    03    04    05   06    07    08


වෙනදා මෙන් ඇගේ ඇමතුමක් ලැබෙන තෙක් බලා හිඳීමට හේතුවක් නැත. මන්ද යත් දැන් ඇගේ දුරකතන අංකය මා සතුය. සිතෙන මොහොතක ඇත්තේ දුරකතනයේ බොත්තම් කිහිපයක් එබීමට පමණි. එහෙත් කතා කරන්නේ කුමණ කරුණක් අරභයාද? 


වෙනත් කිසිදු යුවතියක ඉදිරියේ මා හට නොදැනුණ අමුතුම පැකිලීමක් මා හට ඈ ඉදිරියේ දැනෙන්නේ මන්ද. සැබැවින්ම මා මෙසේ විය යුතුද. පාසල් වියේ පටන්ම මා හට ඕනෑ තරම් මිතුරියන් සිටිති. ඔවුන් සමග කුළුපගව ඇසුරු කිරීමට මෙන්ම ගැ‍ටුම් කාරී මත වලදී ගැ‍ටුම් ඇති කරගැනීමටද මම නොපැකිලුණෙමි. එහෙත් ආදිත්‍යා පිළිබඳව මගේ සිතිවිලි රටාව වෙනස් බවක් නම් මා හට හොඳාකාරවම දැනේ.



මා නිවසේ සිටින අවස්ථාවල ඈ හට කතා කිරීමට නොසිතෙන්නේ අම්මා හට ඇසේවිද යන චකිතය නිසාය. එය බියක් නම් නොවේ, එහෙත් ඒ පිළිබඳව සිතන විට කුමක්දෝ ආගන්තුක හැඟීමකින් සිත පිරී යයි.


පශ්චාත් උපාධි නිබන්ධනයේ වැඩ කටයුතු ගොඩ ගැසී ඇත. එය භාර දීමට ඇත්තේ තවත් දින 5ක පමණ කාලයකි. එම නිසා තරමක වේලාසන මම කාර්යාලයෙන් පිට වෙමි. ගේට්‍ටුවෙන් පිටතට මා පිවිසෙන්නේත්, දුරකතනය වෙත අත දිගු වන්නේත් එක විටමය.
"Adithya"
ඇගේ අංකය වෙත මා නෙත දිව යයි.


හැකි තරම් සරලව මා මේ පිළිබඳව සිතිය යුතුය. නැතහොත් මගේ කට හඬෙහි හෝ වදන් වල වියවුල් බවක් ඈ හඳුනා ගනීවි.


"හෙලෝ Mr දසුන් " මා සිතුවාටත් වඩා ඈ ඉක්මනින් පිළිතුරු දෙයි.


"ආ මැඩම් අදත් ලෙඩෙක් ළඟ ඉන්නව වගේ"


".. කෝ කවුරුත් නෑනෙ. මොකද එහෙම කිවුවෙ?" ඇගේ හඬ විමතියක් පෙන්වයි.


"නෑ මම මිස්ටර් දසුන් වෙන්නෙ ඒ වෙලාවට විතරනෙ, නැත්නම් නිකම්ම නිකම් දසුන් විතරනෙ"


"ඒකත් එහෙමද, කවුද දන්නෙ නෑ එහෙම කියන්නෙ?"


"වෙන කවුරු කියන්නද? මමම තමයි කියන්නෙ ඔයාව අධ්‍යනය කරලා"


"............."


"දොස්තර නෝනා ට අපි කතා කරන එක කරදරයක්ද දන්නෙ නෑ නේද?"


"ආ නෑ නෑ කමක් නෑ, මේ වෙලාවෙ මමත් කම්මැලි කමේ හිටියෙ "


"මොකද අද ලෙඩ්ඩු නැද්ද?"


"අද ටිකක් අඩුයි"


"ඒ මොකද, ඩොක්ටර්ගෙ ලෙඩ වලට මිනිස්සුන්ගෙ ලෙඩ හොඳටම සනීප වෙලාද, එහෙම නැත්නම්.........?"


"..........අනේ දසුන් අයියෙ මම ටිකකින් ගන්නම් ඔයාට, පේෂන්ට් කෙනෙක් ඇවිත්" ඇගේ හඬට කලබලකාරී ස්වභාවයක් එක් වී ඇත.


"හරි ඩොක්ටර්. බායි"


"බුදු සරණයි"


ඒ වදන් දෙකට නැවතත් මගේ සිත අමුතු හැඟීමකින් බර වේ. මා පිළිතුරු දෙන්නට පළමුව ඈ ඇමතුම විසන්ධි කරයි. පැමිණි රෝගියා පිළිබඳව මගේ සිතෙහි කෝපයක් උපදීයි. එහෙත් සිත සනසා ගැනීමට පුංචි හේතුවක් ඇත. "මම ආපහු ගන්නම් ඔයාට" ඈ පැහැදිලිවම පැවසූවා නොවේද?


*******************************************************************************
පැයක් පමණ තිස්සේ එක දිගට පරිගණක තිරය දෙස බලා සිටීමෙන් දෙනෙත් වේදනා ගෙන දේ. නිබන්ධනයේ තවත් බොහෝ ප්‍රමාණයක් තවත් ටයිප් කිරීමට ඉතිරිය. මා කෙතරම් වේගයෙන් යතුරු හැසිරවූවද,පරිගණකයක් ඇල්ලූ මුල්ම දිනයේ සිට නිවැරදිව යතුරු පුවරුව මත අත තබන ආකාරය පුරුදු වී නොතිබීම නිසා වරින් වර ඒ දෙස බැලීමට සිදු වීම මගේ විඩාව දෙගුණ තෙගුණ කරයි. දැන් කොපමණ උත්සාහ කළත්, ඒ වරද නිවැරදි කර ගැනීම කළ නොහැකිය. 
අඩක් අවසන් වූ තේ කෝප්පය වටා කුහුඹින් කිහිප දෙනෙකු කරකැවේ. මම ඉතිරිය උගුරට දෙකට අවසන් කරමි. 


තොර‍තෝන්චියක් නැතිව දෙමලිච්චන් රෑණක් හඬ දෙනු ඇසේ. මම ජනේලයෙන් ඈත අහස දෙස බලමි. රතු පැහැති සරුංගලයක් පාවෙනු පෙනේ. මේ සරුංගල් කාලයයි. නිසැකවම තවත් සරුංගල් කිහිපයක් හෝ දිස් විය යුතුය. ජනේලයෙන් පෙනෙන අහස ප‍ටු වැඩිය. මම මිදුලට බසිමි. අම්මා මල් පැළ වලට වතුර දමන්නීය. 


මා සිතුවා නිවැරදිය. මා දු‍ටු රතු සරුංගලයට එපිටින් තවත් සරුංගලයක් දිස්වේ. එහෙත් එහි නිමාව එතරම් මා සිත් නොගනී. කොළ පැහැයත් රතු පැහැයත් එකිනෙක හා නොගැලපෙන වර්න ලෙස මට හැඟේ.


මගේ සිත අතීතයට දිව යයි. 
මා කුඩා කල අම්මාත් තාත්තාත් සමග තාත්තාට ලැබී තිබුණ නිල නිවාසයේ වාසය කළ සමයේ සිදු වූ සිදු වීමක් මට සිහිපත් වේ. 
එකළ මගේ වයස අවුරුදු 4ක් 5ක් පමණ වන්නට ඇත. නිල නිවාසයට පි‍ටුපසින් වූ පිට්ටනියේ ළමුන් සැමදාම ක්‍රීඩා  කළහ. ඇතැම් විට ඔවුහු සරුංගල් යැවූහ. 
එය මගේ කුඩා සිත අමන්දානන්දයට පත් කරන්නට සමත් විය. සරුංගල් සෑදීමට සව් කොළ අවශ්‍ය බව නොදත් මම හාෆ් ෂීට් වලින්ද එකළ සරුංගල් සෑදීමට උත්සාහ කළෙමි. එහෙත් ඒ කිසිවක් සාර්ථක නොවීය. සිදු වූයේ අම්මාගෙ මහන මැසිමේ නූල් පන්දු දිනෙන් දින අවසන් වීමත් ඉදලේ ඉර‍ටු අඩු වීමත් පමණි. 


එහෙත් දිනක් නොසිතූ යමක් සිදු විය. මම මිදුලේ තනිවම සෙල්ලම් කරමින් සිටියෙමි. කොහෙදෝ සිට පාවී ආ සරුංගලයක් මිදුලේ වූ අඹ ගසක ‍රැඳිනි. සතුටින් ඉපිළ ගිය මම අම්මා කැඳවාගෙන ආවේ කෙසේ හෝ එය ලබා ගැනීමටයි. අම්මා මිදුලට පැමිණෙනවාත් සමගම තරමක වැඩුණ පිරිමිළමයෙක් ද අපේ වත්තට පැමිණියේය. "අර තියෙන්නෙ අයියෙ සරුංගලේ" ඔහු විමසන්නටත් පළමුව මම එය ඔහුට පෙන්වීමි. ගසට නැග සරුංගලය ගත් ඔහු මා හට එය නොපෙන්වාම එය ‍රැගෙන ආපසු ගියේය. ඔහු එය ‍රැගෙන මට දේවි යැයි සිතා සිටි මගේ දෑසේ කඳුලු පිරී ගියේ නිතැතින්මය.


මට ආදිත්‍යා සිහිවේ. කොහේදෝ සිට පැමිණි ඒ සරුංගලය මට අහිමිව මා සිත රිදවූවා මෙන්, කොහේදෝ සිට පැමිණි ඇය මට අහිමිව මගේ සිත රිදවාවිද. මගේ සිත පිළිගන්නට අකමැති වුවත් නැතත් , මා ඈ කෙරෙහි නොසිතූ තරම් ළං වී ඇති බව මට දැනේ. නැත්නම්, දකින දකින බොහෝ දේ නිසා ඈ සිහිපත් වන්නේ මන්ද....... දරා ගන්නට අපහසු තරමේ බරක් සිතෙහි ‍රැඳී ඇති බව දැනේ.


"පුතා මේ බලන්නකො......." අම්මාගෙ හඬින් මගේ දැහැන බිඳේ.
අම්මා මල් පැළ වලට අල්ලන වතුර වලින් විසිරෙන දිය බිඳු වලින් නෑමට දෙමලිච්චන් තරඟ වදිති. 


"ඉන්න ඉන්න මම උන්ව එළවන්නම්" මම පවසන්නේ අම්මා තරහ ඇවිස්සීමටය.


"පව් වැඩ නොකර ඉන්න" අම්මා දැඩි හඬින් කියයයි. මම අඩියක් දෙකක් අම්මා වෙතට ළං වෙමි. පොල්කිච්චන් රංචුව පියඹා ඉවතට යයි.


"මොකද්ද පුතා ඒ කරපු වැඩේ?" අම්මාගෙ මුහුණේ කෝපයක සලකුණු මතු වේ. මෙතැනින් ඉවත් වීම ඇඟට ගුණදායකය. නැතහොත් ඊළඟ මල් පැළය මා වනවාට සැක නැත. නැවතත් නිබන්ධනයට සිත් යොමු කිරීමට කාලය එලඹ ඇත.පශ්චාත් උපාධිය ආරම්භ කළ සමයේ වූ උනන්දුවෙන් දශමයක් දැන් නම් නැත. එහෙත් බැඳ ගත්තු බෙරේ ගහනවා සේ මෙය කෙසේ හෝ අවසන් කළ යුතුව ඇත.





කාමරය ට ගොම්මන් අඳුර එබිකම් කර ඇත. ජනේලය වසන මම විදුලි බුබුල දල්වමි. තවත් තේ එකක් තිබේ නම් අගනේ යැයි සිතේ.අම්මා තවමත් මල් පැළ වලට වතුර දමනවා විය යුතුය. 
සුසුමක් සමගින්ම මම නැවතත් පරිගණකය අසල අසුන් ගනිමි. 


"There's a song  that's  inside my soul
It's the one that I've tried to write over and over again "


මගේ හද ගැස්ම වේගවත් වේ. ජීවිතයේ ප්‍රථම වතාවට මගේ දුරකතණයට එන ඇමතුමකින් Mandy Moore ගේ හඬ ඇසේ. 
ඒ ආදිත්‍යා හට මා assign  කළ ගීතයයි.



නිවි නිවී දැල්වෙන දුරකතන තිරයේ රිද්මයටම මගේ සිත සැලෙයි. මගේ සිතෙහි ඇති මේ ස්වභාවය මටම නුපුරුදුය. වරෙකට මා පිළිබඳව කෝපයක් මා හට ඇති වන්නේ ඒ නිසාවෙනි.


"සොරි දසුන් අයියෙ පේෂන්ට් කෙනෙක් ආවා. කතා කළේ ඇයි කියලා අහන්නත් කලින්ම කෝල් එක කට් කරන්න වුණා"


"ඒකට කමක් නෑ ඩොක්ටර්. මම නිකම් කතා කළේ ඇත්තටම.
ඉතින් ඉතින් මොකද කරන්නෙ? මේ වෙලාවෙත්  වැඩ ද.... ?"


"නෑ නෑ මම අද වැඩ නෑ. දැන් ආවා විතරයි."


"එහෙනම් එදා කිවුවෙ  Negombo වල වැඩ කියලා රෑට"


"සිකුරාදා ,සෙනසුරාදා ,ඉරිදා නෑ. අනිත් දවස් වල වැඩ."


"ඒ කියන්නෙ වීකෙන්ඩ් එක ‍ෆ්‍රී නේ? මරු මරු"


"මොකද මරු මරු කියන්නෙ?"


"නෑ ඉතින් ඒ දවස් වලටවත් අර අහිංසක ලෙඩ්ඩු බේරිලානෙ"


ඈ සිනාසේ. මමද ඇයට එක් වී සිනාසෙමි.


"ඉතින් මොකද වීකෙන්ඩ් එකේ කරන්නෙ?"


"මම ගෙදර යනවා"


මගේ සිත ගැටලුවකට මැදි වේ. ගෙදර යනවා?


"එතකොට ඩොක්ට ඉන්නෙ   ගෙදර  නෙමේද?"


*****************************************************************


නින්ද නෙත අසලකවත් නැත. ඇය සිතෙහි තවමත් සක්මන් කරයි. 


එහෙත් ඇය නම් මේ වන විට නින්දට ගොස් ඇතිවාට සැක නැත. පැවසූ
පරිදි හෙට පාන්දරම ඈ නිවස බලා පිටත් වේ. ඇය බොහෝ දුරක් යා 
යුතුව ඇත. ඇගේ ගම අනුරාධපුරයට එහා ගමකි. අනුරාධපුරයට වී නොඉඳ බෝඩිමක ඇය කුමක් කරන්නේදැයි මා හට සිතා ගන්නට බැරිය. 


සතිපතා එතරම් දුරක් බසයේ ගමන් කිරීම පැහැදිලිවම විඩාවක් නොවේද. ඇය අවසර දෙනවා නම් මගකට හෝ ඈ ගොස් හැරලීමට මට සිතේ. එහෙත් එවැන්නක් විමසීමකට හෝ තවමත් අවකාශ නෑත.


" Goodnight Doctor " මම කෙටි පනිවුඩයක් යවමි. ඇය හට නින්ද ගොස් ඇත්නම් එහි නාදයෙන් ඈ අවදි නොවන්නට මම පතමි.


" Goodnight Dasun Ayiye " සැනෙකින් පිළිතුරු ලැබේ.


මටත් හොරා මගේ අතැඟිලි යතුරු පුවරුව මත දිව යයි.


" Do you mind if i call you "Doctor Nangi"?"


" Of course I do mind, So call me Nangi or Adithya"  


"Roger that NANGI. ;-)" 


ඇගෙන් වෙනත් පිළිතුරක් නොලැබේ. මම නින්දට යාමට උත්සාහ කරමි.

Thursday, July 12, 2012

වන මැද මං මුලාව


තවත් පුංචි කැලෑවකට අද යන්න හිතුවා. කොළඹ ඉඳන් වැඩි දුරක් නෑ. පැය 2ක විතර ගමනක්. 
කැලෑවෙ නම තමයි "බෝධිනාගල (දොඹගස්කන්ද)" 
බස්නාහිර පළාතෙ කලුතර දිස්ත්‍රික්කයෙ ඉංගිරිය ප්‍රදේශයෙ පිහිටලා තියන මේ ද්විතීයික වැසි වනාන්තරය දැන් තරමක් දුරට විනාශ වීමේ තර්ජනයට මුහුණ පාලා තියන රක්ෂිතයක්.


මේ ගමනට අපි 11 දෙනෙක් සහභාගි වුණා. පාන්දරින්ම කැම්පස් එකෙන් පිටත් වුණ අපි උදෑසන පින්නත් හීතලත් එක්කම හොරණට ළඟාවුණා. එතන ඉඳලා පාර හොයාගන්න අමාරු වුණේ නෑ, මොකද බෝධිනාගල කියන නාම පුවරු වලින් අපිට ගමන් මාර්ගය පෙන්වුව නිසා. 




වාහනෙන් යන්න පුළුවන් තැනට ගිය අපිට එතන ඉඳන් යන්න වුණේ පයින්. බොහෝ දුරක් යනකම්  පාර කොන්ක්‍රීට් කරලා තිබුණෙ. කැලේ ආසන්නයට යන්න යන්න වනාන්තරයක් ඇතුලෙදි දැනෙන සිසිලස දැනෙන්න පටන් ගත්තා. පාර දිගටම තිබුණෙ පුංචි පුංචි දිය පාරවල්. ඒ ජලය  හරිම පැහැදිලියි, ඒ වගේම සීතලයි.




මේ වනාන්තරය පැතිරිලා තියෙන්නෙ අක්කර 50ක පමණ භූමි ප්‍රදේශයක් පුරා. ඒ කඳු දෙකක. කන්දෙ තියන ආරණ්‍ය සේනාසනයට යන්න කපලා තියන ගල් පඩි දෙගේ අපි තරම වෙලාවක් කන්ද නැග්ගා. 


ආරණ්‍යට වඩින හාමුදුරුනමක්

එක් ස්ථානයක අපේ දවල් ආහාරයත්, වැඩිපුර තිබුණ බඩු බාහිරාදියත් තියලා, එතැනින් කැලේට ඇතුළු වුණා. 

ඒ හිතා ගන්න බැරි තරම් අපූරු ලෝකයක්. වැඩිපුරම තිබුණ ශාක විශේෂය නම් බට පඳුරු කිවුවොත් නිවැරදියි. බොහෝ ස්ථාන නැගීම අතිශයින් දුෂ්කරයි. කොටින්ම කියනවා නම් අපේ එක්කෙනෙක්ගෙ කලිසම සම්පූර්ණයෙන් ඉරී ගියා. (එතනින් එහාට ගමන සම්පූර්ණ කළේ වෙන කෙනෙක් ළඟ අහම්බෙන් තිබුණ ට්‍රැක් කිට් එකේ bottom එක  ඉරී ගිය කලිසමට උඩින් ඇඳගෙන.)

තවත් කෙනෙක්ගෙ සපත්තුවක් ආයෙ පාවිච්චි කරන්න බැරි විදියටම කැඩුණා. එයාටත් රබර් සෙරෙප්පුවෙ පිහිට තමයි.




මේ මොන ප්‍රශ්නෙ තිබුණත් සමහර ස්ථාන වල තත්පර දෙක තුනක් වත් එක තැන ‍රැ‍ඳෙන්න බැරි වුණා, මොකද පැන පැන ආව කූඩැල්ලො නිසා. සපත්තු වටේ ගෑව සිද්ධාලේප වලට තරමක් ඔරොත්තු දුන්නත් , පොළොවෙ තෙත ගතිය නිසා ඒවා වැඩි වෙලාවක් ‍රැඳුනෙ නෑ. 
කැලෑව පුරාවටම මේ වගේ ලස්සන තැන් අනන්තවත් තිබුණා. 
වන ජීවීන් ගැන අධ්‍යයන කරන කෙනෙක්ට නම් මේ වනාන්තරය අපූරු ‍තෝතැන්නක්.


අපිට දකින්න ලැබුණ කුරුල්ලන් කීප දෙනෙක් නම් වශයෙන් දැක්වුවොත් (මගෙ check list එකට අනුව )


Malabar trogon  (ලෝහවනිච්චියා)
brown headed barbet (පොලොස් කොට්ටෝරුවා)
Sri lanka jungle fowl (ශ්‍රී ලංකා වලි කුකුලා)
Rose ringed parakeet (රෑන ගිරවා)
Alexandrine parakeet (ලබු ගිරවා)
black capped bul bul (කලු හිසැසි කොණ්ඩකුරුල්ලා)
Ceylon gray hornbill ? (ශ්‍රී ලංකා අළු කෑඳැත්තා)?
Green imperial pigeon (නීල මහගොයා)
black headed oriole (කහ කුරුල්ලා)
green pigeon (බටගොයා)


 විවිධාකාර සමනල් විශේෂ,  බත් කූරන් (dragonflies and damselflies) වගේම  නමක් ගමක් දන්නෙ නැති ගොලුබෙලි විශේෂ ගණනාවකුත් මේ කුරුල්ලන් හැරුණ විට අපට හමු වුණා.



මේ ගමනෙදි කවදාවත් අමතක නොවෙන සිදුවීමක සිදු වුණා. 


කුමක් හෝ වෙලාවක අපෙ 11 දෙනා කොටස් 2 කට බෙදුණා. (කිසිම දිනයකදී කැලේක සිදු නොකළ යුතු දෙයක්) 
අපෙන් වෙන් වෙලා ඈතට ගිය අනිත් කට්ටිය හොයාගන්න අපි උත්සාහ කළා. දුරකතන ඇමතුම් වලින් ඒ තරම් පලක් වුණේ නෑ. ප්‍රයෝජනවත් වුණේ "කෝපි කඩේ" හූව තමයි. ඒ විදියට හූ කියමින් ගිහින් අන්තිමට අපේ අනිත් 5 දෙනාව හොයාගත්තා. විනාඩි 30කට වැඩි කාලයක් ඒ සඳහා ගත වුණා. ආයෙ නම් වෙන් වෙලා යන්නෙ නෑ කියලා ගිවිසුම් ගහගෙනම අපි කැලෙන් එලියට එන්න කන්දෙ පල්ලමට බහින්න පටන් ගත්තා ගමෙන් මතු වෙන්න හිතාගෙන.


වැවිලා තිබුණ වනාන්තරේ නිසාම කන්දෙ පාමුලට එනකල්ම කන්දෙ පාමුල පෙනුනෙ නෑ. කඳු පාමුළට ආවම තමයි හැමෝටම දෙවියන් සිහි වුණේ. කන්ද පාමුල තිබුණෙ ගමක් නෙමේ. එතන ඉඳන් තවත් කන්දක් පටන් ගත්තා. 


හිතා ගන්න පුළුවන්ද, වෙන් වෙලා ගිය යාළුවො ටික හොයන්න ගිහින් අපිට පාර වැරදිලා. 
ගමට කියලා අපි බැහැලා තියෙන්නෙ කඳු 2ක් අතර නිම්නෙකට. 


ඒක දැනගත්තා විතරයි අපේ එක්කෙනෙක් අඬන්න පටන් ගත්තා. එයාව ආදරෙන් සහ බැනලා නළවගත්තාට පස්සෙයි මොකද කරන්නෙ කියලා හිතන්න ලැබුණෙ. 
ඉතින් අපි ඒ නිම්නය ඔස්සේම ටිකක් ඉස්සරහට ගියා. එහෙම යද්දි අපේ වාසනාවට හම්බුණා පුංචි දිය පාරක්. ඒ දිය පාර දිගේම ඉදිරියට යන්න තීරනය වුණා. 


අපේ මිතුරු දිය පාර

රෑ කන්දෙම ගත කරන්න වෙයිද කියන බය හැමෝගෙම හිතේ තිබුණා. අම්මලා ට මොකද කියන්නෙ, කූඩැල්ලන්ගෙන් ‍රැට බේරෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නයත් එක්කම වැස්සක ලකුණකුත් පේන්න තිබුණා. එහෙම පැය දෙකකට වඩා ගියා. 


තවත් යනකොට කැලෑව තරමකට තුනී වෙනවා වගේ දැනුනෙ බලාපොරොත්තුවක සේයාවක් හිතේ ඇති කරමින්. ඒ සේටම වඩා හිතේ සතුටක් ආවෙ පුංචිම පුංචි අඩි පාරක් දැක්කාට පස්සෙ. සත්තු ගිහින් හැදුණ අඩි පාරක්ද කියන සැකය නිසා අපිව එහෙමම තියපු කණ්ඩායමේ දෙන්නෙක් ඒ අඩි පාර දිගේ ගියා. 
ඒ දෙන්නා ආපහු එන්නත් තවත් වෙලාවක් ගත වුණා. ඒත් ඒ දෙන්නා ආපහු ආවෙ බලාපොරොත්තුවෙ සුබ ලකුණුත් අරන්. 
පාර කෙළවර වෙන්නෙ ගමකට.


සැනසුම් සුසුමක් හෙලපු අපි ඒ පාර දිගේ ගමකට ආවා. 
මේ තියෙන්නෙ ඒ ලස්සන ගම. 




මෙතනින් කොහාටද?

ඒ අපි කැලෙන් එලියට එන්න හිතන් හිටිය ගමෙන් කි මී 4ක් විතර ඈතින් තිබුණ ගමක්. අපි ආව වාහනේ එතෙන්ට ගෙන්න ගන්න පුළුවන් වුණ නිසා ඒ දුර නම් කරදරක් නැතුවම ගියා


දවල්ට කන්න ආයෙමත් අපේ කෑම තියලා තිබුණ තැනට වෙනකම් නගින්න වුණා. ඒ වෙද්දි නම් පරිසර ගවේශකයො ටික හිටියෙ හුස්ම ටික යන්න ඔන්න මෙන්න වගේ. ඒත් හවස 5 ට විතර අපිම පිළියෙළ කරගෙන ගත්තු දිවා ආහාරයෙන් (පාන් , සීනි සම්බෝල, සැමන්) පස්සෙ ආයෙමත් පණ ලැබුණා. 


ඔන්න ඔහොමයි කලුවර වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි අපි කැලෙන් එළියට ආවෙ.


*********************************************************************************


Wednesday, July 11, 2012

මුකුලිත වන්නට පෙර



සායනයේ වායු සමන යන්ත්‍රය ක්‍රියා විරහිත වෙලා. ඉතා ම අපහසුවෙන් කැරකෙන විදුලි පංකාව ඉහින් කනින් බේරෙන දහදිය නිවා දමන්නට නම් කොහොමත් ම සමත් නෑ.. ගිනස්‌ වාර්තාවක්‌ තියන්න වගේ එක දිගට පැමිණෙන රෝගීන් ගණන ඒ වන විටත් කිසි ම අඩුවක්‌ නෑ. දිගින් දිගට ම ඇසෙන විවිධාකාර වූ රෝග පිළිබඳ පැමිණිලිවලින් සන්නද්ධ වූ සවන් සහිත වෙද සහ හෙද කාර්ය මණ්‌ඩලය සිනාමුසු මුහුණෙන් සිටීමට පැහැදිලි වෙහෙසක්‌ ගන්නවා.


"තව පණහකට වඩා එළියෙ ඉන්නවා". ඊයේ පෙරේදා පත්වීම ලබා පැමිණි හෙදියක්‌ පැවසුවේ සතුටින් නම් නො වේ. 


කුමක්‌ හෝ කරුණක්‌ නිසා එදින වෛද්‍ය කාර්ය මණ්‌ඩලයේ දෙදෙනකු ම සායනයට පැමිණ සිටියේ නැහැ. එම නිසා ම ඇතැම් රෝගීන් ගේ කරුණු අසා සායන පොත්වල සටහන් කර ගැනීම වෛද්‍ය සිසුන් වශයෙන් සිටි අප හට පැවරුණේ නිතැතින් මයි. 


බොහෝ රෝගීන් තරමක වයස්‌ගත අය. දියවැඩියාව, අධි රුධිරපීඩනය ආදී රෝගවලින් පීඩා විඳි රෝගීන් සුලබ වුණා. 


ඒ අතර සිටි එක්‌තරා තරුණයකු කෙරෙහි මගේ විශේෂ අවධානය යොමු වුණා. ඒ අවධානයට හේතුව නම් වයස්‌ගත, රෝගී පෙනුමැති රෝගීන් අතර ඔහු තරුණ වීම පමණක්‌ ම නො වේ. අනෙක්‌ අය කෙරෙහි දකින්නට නො තිබූ නොසන්සුන් බවක්‌ ඔහු කෙරෙන් දක්‌නට තිබීමයි. 


"මට ඉක්‌මනට යන්න ඕනා ඩොක්‌ටර්" 


"මොකද කලබල ඔය තරම්? ටිකක්‌ ඉන්න, වෙලාව එනකම් ඔයා ගෙ. ඒ වෙනකම් ඔයා ගේ විස්‌තර කියන්න මට ලියන්න ක්‌ලිනික්‌ පොතේ"


"මම වරුවක්‌ නිවාඩු දාලා ආවේ, ඒකයි ඉක්‌මනට යන්න ඕනා"


ඔහු පැවසූ කරුණු අනුව ඔහු සමාජයේ වැදගත් යෑයි සැලකිය හැකි රස්‌සාවක්‌ කළ අයෙක්‌. එතරම් රෝගී බවක්‌ ද ඔහු කෙරෙන් පහළ වූයේ නැහැ. ඔහු රෝහලේ සායනයට පැමිණීමට හේතුව දැන ගැනීමට මට අවශ්‍ය වුණා. 


"වයස කීය ද?"


"විසි හතරයි"


"මොකද අද එන්න හේතුව?"


"මගේ ඇඟ කෙට්‌ටු වෙනවා ඩොක්‌ටර්. ඒකට බේත් ගත්ත කීප තැනකින් ම ඒත් හරි ගියේ නෑ. ඒ නිසයි ඉස්‌පිරිතාලෙන් බේත් ගන්න හිතුවේ" ඇත්තෙන් ම ඔහු බැලු බැල්මට කෙසඟ සිරුරැති අයෙක්‌. 


ක්‌ෂය රෝගය, තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ, ඇතැම් පිළිකා වර්ග ඇතුළු සිරුර අධිල ලෙස කෙට්‌ටු වීමට අදාළ රෝග කිහිපයක්‌ ම මගේ සිතේ මතු වුණා. නමුත් ඔහු කෙරෙන් එබඳු වූ කිසිදු රෝග ලක්‌ෂණයක්‌ ප්‍රකට වූයේ නැහැ. 


"සිගරට්‌ එහෙම පාවිච්චි කරනව ද?" මගේ ඊළඟ පැනයට ඔහු තරමක්‌ පැකිලුණා...


" ඉස්‌සර නම් බිවුවා.. ඒත් දැන් නම් බොන්නෙ නෑ" ඔහු පිළිතුරු දුන් ආකාරය පිළිබඳව මට එතරම් සෑහීමකට පත් වන්නට හැකි වුණේ නැහැ. 


"ඉස්‌සර බිවුවා, දැන් බොන්නෙ නෑ කියන්නේ මේ අවුරුදු විසි හතරට සිගරට්‌ බොන්න පටන් අරන් නවත්තන්න තරම් කාලයක්‌ තිබුණ ද ඔයාට? කොයි කාලෙ ද බොන එක නැවත්තුවේ?"


ඔහු ගේ ඊළඟ පිළිතුරට සිනහ නො වී සිටීමට මට මහත් ආයාසයක්‌ දරන්නට සිදු වුණා කිව්වොත් නිවැරදියි. 


"ගිය සතියේ ඩොක්‌ටර්" 


මෙවැනි පිළිතුරු රෝගීන් ගෙන් අසන්නට ලැබුණු ප්‍රථම අවස්‌ථාව මේ නො වේ. වෛද්‍යවරුන් ගේ අප්‍රසාදයට ලක්‌ නො වී සිටීමට හෝ වෙනයම් කරුණක්‌ නිසා බොහෝ රෝගීන් මෙබඳු පිළිතුරු ලබා දෙනවා. තවමත් දිගින් දිගට ම දුම්පානය කරම්න් ම, එය නැවැත්වුවා යෑයි ඉතා ආසන්න දිනයක්‌ සඳහන් කිරීම ඉතා ම සුලබයි. 


මගේ සිතට නැඟුණේ විශාල කලකිරීමක්‌. වයස අවුරුදු විසි හතරක තරුණයකු දුම් පානයට ඇබ්බැහි වී සිටිනවා පමණක්‌ නො ව එහි අනිටු විපාකත් විඳිමින් සිටිනවා. 


කඩවසම් ව ගත කළ හැකි තරුණ අවධියේ ම සිරුර ක්‌ෂය වී ගොසින් 
ඔහු ගේ පෙම්වතිය ඔහු හැර ගොසින්. 
මවුපියන් සිත් තැවුලෙන්. 
රෝග ගණනාවකට ඔහු ඉතා නුදුරින්. 


අද සමාජයේ තරුණ පිරිස අතර දුම් පානය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව බොහෝ දුරට සත්‍යයක්‌. නමුත් පෙනෙනවාට වඩා වැඩි පිරිසක්‌ තවමත් දුම් පානයේ යෙදෙනවා. සමාජ ඇසුර හෝ කුමන හෝ හේතුවක්‌ නිසා අහිංසක තරුණ ජීවිත අකාලයේ බිලි ගනිමින් තිබෙනවා. 


ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ, නොයෙකුත් පිළිකා තමන්ට අත වනමින් සිටින බව ඔවුන් නො දන්නවා ම නො වේ. එහෙත් දුම්පානය සඳහා ඇති ගිජු බව, දුම්පානය නවත්වන්නට ඇති මැළිකම ඒ සියල්ල අභිබවා නැඟී සිටිනවා. 


ඔහු ගෙන් ලබා ගත් තොරතුරු සායන පොතේ සටහන් කළ මා ඔහු වත් කැඳවාගෙන අප ගේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකු කරා ගියා. 


ඔහු එම තරුණයා ඇමතූ ආකාරයට සැබෑ ලෙසින් ම සිතේ දුම්පානය නවත්වන්නට යම් කිසි හෝ අදහසක්‌ මතු වන්නට ඇති. 


"ඔයා කොච්චර බේත් ගත්තත් මහත් වෙන්න කියලා, ඔයා සිගරට්‌ බොන තාක්‌ කල් ඔයාට ඔය විදියට ම තමයි ඉන්න වෙන්නේ.. 
ඒ විතරක්‌ ම නෙමේ, තව ටිකක්‌ කල් යනකොට ඔයාට තව ලෙඩ හැදෙයි. 
පෙනහළු දුර්වල වෙලා ක්ෂය රෝගෙ හැදෙන්න පුළුවන්. 
පෙනහළු දිය වෙලා ගිහින් අවුරුදු 50 පනිනකොට හැමදාම දුම් අල්ලගන්න ( ඖෂධ සහිත වාෂ්ප - nebulization  ) වෙයි. 
හර්ද රෝග, මොළේ නහර හීනි වීම්, වකුගඩු වල ප්‍රශ්න එන්න පුළුවන්. 
ඒ විතරක් නෙමේ අවුරුදු 40 , 50 වෙනකොට ඔයා ලිංගිකව බෙලහීන කෙනෙක් වෙන්නත් ලොකු ඉඩක් තියනවා.වයිෆ් වෙන කා එක්ක හරි පැනල යයි.
අන්තිමට පිළිකාවකින් වුණත් ඔයා ගෙ ජීවිතය අවසාන වෙන්න පුළුවන්.ඒක පෙනහළු පිළිකාවක්ම වෙන්නෙ නෑ, උගුරෙ පිළිකා, ආහාර මාර්ගයෙ පිළිකා, මුත්‍රා මාර්ගයෙ , මුත්‍රාශයෙ වගේ ඕනෑම තැනක වෙන්න පුළුවන් ඒ පිළිකාව එන්නෙ. "



අවශ්‍ය සැම විට කෙළින් ම අදහස්‌ ප්‍රකාශ කරන ඔහු, ඒ නිසා ම අප සැබෑ ලෙසින් ම ප්‍රිය කළ වෛද්‍යවරයෙක්‌. 
ඔහු ගේ පැහැදිලි කිරීම හමුවේ තරුණයා මඳක්‌ නිහඬ වුණා. 


එහෙත් ඊළඟ මොහොතේ අවදි වූ ඔහු ගේ කට හඬ මා පත් කළේ මහත් වූ අමන්දානන්දයකට. 


"මම මේක නවත්වන්න කැමතියි ඩොක්‌ටර්. මට උදව් කරන්න." 



This is for my love , for not being a smoker.



This is for my friends for not being smokers. Are you eligible to get this?